අම්මා කෙනෙකු උපරිම වේදනාව දරන්නී සිය කුසහොත් දරුවෙකුගේ වියෝවෙනි. ඒ වියෝවේ වේදනාව මේ වනවිට ගාසා තීරය දිගේ ඇහෙන්නේය. ඒ ඉකිය ගැසුම් ලෝකය හිරි වට්ටා ඇත්තේය.
ජීවිතය පමණක් අපේක්ෂාවෙන් ඇඳවත පමණක් සන්තකව උතුරු ගාසා තීරයේ සිට රක්ෂිත භූමියක් සොයාගෙන කිලෝ මීටර ගණන් පා ගමනින් යන අම්මලාට රොකට් ප්‍රහාරයන්ගෙන් මිය යන ස්වකීය දරුවන් වෙනුවෙන් හඬා වැටෙන්නවත් අවකාශ නැත.
මේ අම්මා හඬා වැටෙන්නේත් වියෝ වූ සිය පුතා වෙනුවෙනි. ඒ අම්මා ලෙබනන් ජාතික ෆැට්මා කන්සෝය. පුතා අද ලෝකයම කතා කරන ඊශ්‍රයාල ෂෙල් වෙඩි පහරකින් මරා දැමුන රොයිටර් මාධ්‍යවේදී ඉසාම් අබ්දුල්ලා ය.
අද (14 ) ලෙබනනයේ අබ්දුල්ලාගේ උපන් නගරය වන අල් ඛියාම් ඔහු අවසන් ගමන් ගියේය. ඔහුට සමු දෙන්නට පෙර ඒ අම්මා තම පුතාගේ දේහය බදාගෙන වැලපුන අයුරුය.
මේ ඇවිලී ඇත්තේ මනුෂ්‍යත්වයේ සම්මුතීන් තඹයකට මායිම් නොකර ශිෂ්ඨාචාරයේ පසුකර පැමිණි වනචාරී යුගයේ ම්ලේච්ඡත්වය යළි රැගෙන පැමිණි අශිෂ්ඨ යුද්ධයකි. හමාස් සටන්කරුවන් විසින් දහස් ගණනක් ඊශ්‍රයාල සිවිල් වැසියන් ඝාතනය කර ආරම්භ කළ ම්ලේච්ඡත්වයට ඊට වඩා බිහිසුණු ම්ලේච්ඡත්වයක් වපුරුවමින් ඊශ්‍රයාලය ප්‍රති ප්‍රහාර පවත්වාගෙන යයි.
ඉදිරි දින කීපය ලෝකය මෑත කාලයේ ගත කරන බිහිසුණුම දින කීපය විය හැකි වන්නේ අඩුම භූමි පරිමාණයක් තුළ වැඩිම ජනගහණයක් සහිත ගාසා තීරය මේ වනවිට බඩගින්න, පිපාසය, රෝබිය, සමග මරණය පමණක්ම හමුවන භූමියක් වන බැවිනි.