ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා-
එෂාමා කාරියකරවන –
ලෝකයේම වෙසෙන දරුවන් සහ වැඩිහිටියන් සමරනු ලබන්නේ එකම දිනකය. සෑම වසරකම ඔක්තෝබර් පළමුවනදාට එම දිනය යෙදෙයි. දරුවනුත් වැඩිහිටියනුත් එකම දිනයක සැමරීමේ අපූර්වත්වයක් තිබේ. සෑම වැඩිහිටියකුම කළෙක දරුවකු වී සිටියේය. එසේම සෑම දරුවකුම දිනක වැඩිහිටියකු බවට පත්වේ.
දශක දෙක තුනකට පෙර ළමා කාලයේදී මේ තරම් වෛවර්ණ විසිතුරු සෙල්ලම් බඩු, විසිතුරු පත පොත, පෑන් පැන්සල් තිබුණේ නැත. එහෙත් බොහෝ නිර්මාණශීලී සෙල්ලම් භාණ්ඩ දරුවෝ පරිසරය ඇසුරෙන් නිපදවා ගත්හ. එපමණක් නොව මේ තරම් විශාල විෂය නිර්දේශ, ගෙදර වැඩ, ටියුෂන්, තිබුණේද නැත. දරුවෝ උදය වරුවේ පාසල් ගොස් සවස් වරුවේ මිතුරන් සමග අඳුර වැටෙන තුරු කෙළි සෙල්ලම් කළහ. දරුවන්ට තිබූ සීමිත සම්පත් පවුලේ සිටින අනෙකුත් සහෝදර සහෝදරියන් සමග බෙදාහදා ගැනීම කළ යුතු විණි. අඩුපාඩු තිබුණද ළමයකුට ළමයකු වී සිටීමේ නිදහස සමග සරල ප්‍රීතිමත් ලෝකයක් එකළ දරුවන්ට තිබුණී. වර්තමානයේ දරුවන්ට, දරුවකුව නිදහස්ව ප්‍රීතියෙන් සිටීමේ නිදහස අඩුවී ඇත.
වර්තමාන දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයකට සමබර ජීවිත නැත. ඔවුන්ගේ දවසින් වැඩි ප්‍රමාණයක් ගෙවෙන්නේ අධ්‍යාපනයටය. පාසැලෙන් ටියුෂන් පංතියටත් එතැනින් ගෙදරටත් එන දරුවා පාසැලෙන් සහ ටියුෂන් පංතියෙන් දෙන ගෙදර වැඩ කළ යුතුය. අධ්‍යාපනයටම අධිකව වෙහෙසුනත් දරුවාට උගන්නා දේ නැවත ආවර්ජනය කර බැලීමට වේලාවක් නැත. බාලාංශයේ පටන් සමහර විට පෙර පාසැලේ පටන් දරුවන්ගේ තත්වය මෙයම වේ.
දරුවකු අනාගතයේ මව්පියන් ප්‍රාර්ථනා කරන දරුවා බවට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුම දේ ඔහුට ලබාදීම මව්පිය වගකීමකි. අධ්‍යාපනය යනු ඒ සුදුසු දේ අතරින් එකක් පමණි. පහත කරුණූ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් මව්පියන්ටත්, දරුවාටත්, සමාජයටත් මහත් යහපතක් අර්ථයක් සිදු වෙයි.
- දරුවා යනු කුඩා වැඩිහිටියකු නොවන බව පළමුවෙන්ම මව්පියවරු තේරුම් ගැනීම වැදගත්ය.
- දරුවාගේ කායික මානසික ක්‍රියාවලිය සැකසී ඇත්තේ ඔහුගේ වයසට අනුරූපවය. යම් දෙයක් සම්බන්ධව මව්පියන් දකින සිතන ආකාරයෙන් දැකීමේ සිතීමේ හැකියාව දරුවාට නැත. ඒ දෙය ඔහු දකින්නේ ඔහුගේ වයස, අත්දැකීම් සහ බුද්ධි ප්‍රමාණය අනුවය.
- එමනිසා මව්පියන් ඔහුගේ අදහස් වලට ඉතා හොඳින් සවන් දිය යුතුය. ඔහු පවුලේ ඉතා වැදගත් සාමාජිකයකු බව නිතර ඇඟවෙන පරිදි පිළිගැනීම ලබා දිය යුතුය.
- දරුවාට ආමන්ත්‍රණය කරද්දී ආදරය පිරුණු හැඟීමකින් ඔහුගේ සිත පිනා යන අයුරින් ඔබට ඇමතිය හැකි නම් ඕනෑම දරුවකු ඔබට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය.
- දරුවාට දඬුවම් කිරීමේදී ඔහු කළ වරදේ ප්‍රමාණයට දඬුවම් දීමට වගබලා ගන්න. දරුවාට අපහාසාත්මක අයුරින් කතා කිරීම, පහරදීම, ප්‍රසිද්ධියේ අවමාන කිරීම, අන් අය සමග දරුවාගේ වැරදි කතා කිරීම සහ ඔවුන් සමග එකතුව දරුවා හෑල්ලුවට ලක්කිරීම මගින් කිසිදිනක දරුවකු උසස් පුරවැසියකු කළ නොහැකි බව මව්පියන් තේරුම් ගත යුතුය.
- සෑම දරුවකුම එක සමාන බුද්ධියකින් කුසලතාවයකින් යුක්ත නොවන බැවින් තම දරුවාගේ බුද්ධියට කුසලතාවයන්ට ගැලපෙන ඉලක්ක වෙත ඔහු යොමු කිරීමට මව්පියන් සැලකිලිමත්විය යුතුය.
- ක්‍රීඩා හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් දරුවාගේ ජීවිතය සමබර කිරීමට, ස්වසංකල්පය ධනාත්මක කර පෞරුෂවත් කිරීමට බලපෑම් කරන බැවින් දවසේ සැලකිය යුතු කාලයක් ඔහුට සමවයස් කාණ්ඩ සමග ක්‍රීඩා කිරීමට ඉඩ සළසා දීම වැදගත්ය.
- කුඩා දරුවන් අනවශ්‍ය ලෙස ටියුෂන් වලට යොමු කිරීම, ශිෂ්‍යත්ව විභාගය සඳහා දැඩිලෙස වසර ගණන් වෙහෙස කිරීම නොකළ යුතුය. හැකිතරම් ක්‍රීඩා කිරීම, සාමූහික ක්‍රීඩා වල යෙදවීම. පත පොත කියවීමට උනන්දු කිරීම ඉතා වැදගත් බව වටහා ගන්න.
- වයස 10 ට අඩු දරුවන් සඳහා රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථන සමග ගණුදෙනු කිරීම හැකි තරම් සීමා කිරීම වැදගත්ය..
- දරුවන් ඉල්ලන සියලු අඩුපාඩු ඉල්ලූ සැනින් දරුවා බලාපොරොත්තු වන ආකාරයටත් වඩා ඉහළින් ඉටුකිරීම නොකළ යුතුය. හොඳ දේවල් වෙනුවෙන් ඔහුට බලා සිටින්නට පුරුදු කළ යුතුය. එම ඉල්ලීම් වෙනුවෙන් මව්පියන් වැය කරන මුදල් ඉතා දුක් මහන්සියෙන් උපයාගත් දේ බව ඔහුට දැනෙන්නට ඉඩ හැරිය යුතුය.
- ඔහුගේ වයසට ගැලපෙන ප්‍රමාණයෙන් ඔහුගේ කටයුතු කරගැනීමට ඔහුව පුරුදු කළ යුතුය. නියමිත කාල සටහනකට වැඩ කිරීමට ඔහුව යොමු කළ යුතුය. නමුත් එම කාල සටහනේ ආකාරයෙන් සෑම දිනකම කටයුතු සිදුවේයැයි බලාපොරොත්තු නොවිය යුතුය. එසේම කාල සටහනෙන් පිට කාර්යයක් හදිසියේ යෙදුනහොත් ඒ සඳහා ප්‍රමුඛතාව දිය යුතුය.
- සත්‍යවාදීබව, බෙදා හදා ගැනීම, කරුණාවන්තකම, ත්‍යාගශීලිත්වය, අනෙක් අය කෙරෙහි ගෞරව සම්පන්න බව, ආචාරශීලී බව, ශික්ෂණය, ඔහුට ඉතාම මුදු මොළොක් ආකාරයෙන් කුඩා කළ සිටම පුරුදු පුහුණූ කිරීමට අම්මාගේ කැපවීම ඉතා වැදගත්ය. මේ සඳහා මව්පිය වැඩිහිටියන්ගේ ආදර්ශ ඉතා වැදගත්ය.
- දරුවන් ආශ්‍රය කරන යහළුවන් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් මව්පියන් සතුවිය. යුතුය.
- ආගම දහම මෙම සමාජයේදීඉතා වැදගත් බැවින් දරුවාට තම දහමේ දර්ශනය ඉගෙන ගැනීම සඳහා ඉඩපහසුකම් සපයා දීම වැදගත්ය
- දරුවා කැමති ක්ෂේත්රයකින් ඔහුට අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබා දිය යුතුය.
- ඔහුගේ විනෝදාංශවලට අවබෝධයකින් යුතුව ඉඩ ලබා දිය යුතුය. සැමවිටම ඔහුට වගකීම් සහ යුතුකම් පිළිබඳව වටහා දිය යුතු වේ. ඔබ වගකීම් යුතුකම් ඉටුකරන අන්දම ඔහුට දකින්නට ඉඩ හරින්න.
- දරුවන් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ සමවයස් කණ්ඩායම් සමග හැසිරීමටය. එය මව්පියන් ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව මව්පියන් අවබෝධ කරගත යුතුය.
- නව යොවුන් වියේ සිටින දරුවන් තම අනන්‍යතාවය සොයන තමාගේ රූපය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන, කුතුහළය පිරි ඒ නිසාම සෑම දෙයක්ම අත්හදා බැලීමට කැමති පිරිසක් බැවින් මේ කාලය තුළ දරුවාට නොදැනෙන්නට දරුවා පිළිබඳව සොයා බැලීම වැදගත්ය.
- සෑම තත්පරයකදීම පාඩම් කරන දරුවකු බලාපොරොත්තු නොවිය යුතුය. ජීවිතයේ අනෙකුත් අභියෝගයන්ට මුහුණු දෙන වෙනත් වෙනත් අංශ කෙරෙහිද උනන්දු වන නිවසේ කටයුතු වලට සහය දෙන සහයෝගී දරුවකු වන්නට මව්පියන් සහය විය යුතුය.
දරුවා මෙලොව සිටින වටිනාම ජීවියා වේ. ඔහුගේ ළමා කාලය සුන්දර වූ තරමට , ප්‍රීතිමත් වූ තරමට , මිහිරි මතකයන්ගෙන් පිරුණු තරමට ඔහුගේ වැඩිහිටි විය ඉහළ පෞරුෂයකින් යුතු වේ.
එමනිසා සෑම විටම දරුවා සතුටින් ක්‍රියාශීලීව තැබීමටත් වගකීම් සහ යුතුකම් අතරේ හැසිරවීමටත් උත්සහ කරන්න. දරුවකුට සතුටින් සිටීමට මව්පියන් ධනවත්වීම කිසිසේත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මව්පියන්ගේ නිසි ආදරය , ගෞරවය සහ ආරක්ෂාව පමණි.
ඔබ එය ලබා දෙන තරමට ඔබේ දරුවා ලෝකය ජයගනු ඇත.