සිල්හෙට් හි පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානය. බංගලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනුවේය. මුලින්ම පන්දු රැකීම තේරුවේය.
තරගයේ සාරාංශය කෙටියෙන්ම මෙසේය. කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 102 බැගින් ලබාගෙනය. ඉතිරි 08 දෙනාම ලකුණු 76කට දැවී ගොස්ය. ශ්‍රි ලංකා කණ්ඩායමේ හයවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 202 කි. තරගයටම තිබුණේ මේ ශතක දෙක පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280කට පන්දු ඕවර 68ක් තුළ දැවී ගියහ.
සිල්හෙට් හි දුර්ලභ කොළ පැහැති තණතීරුවේ පන්දුවේ දෝලනය උපරිම ලෙස බංගලාදේශ වේග පන්දු යවන්නෝ යොදා ගත්හ.
නිශාන් මධුෂ්ක පළමුවෙන්ම දැවී ගියේය. ඒ දිනයේ දෙවැනි ඕවරයේ තෙවැනි ස්ලිප්හි පන්දු රැකි මේදි හසන් මිරාස්ගේ හිස උසට උඩ පන්දුවක් ලබා දෙමිනි. නිශාන් මධුෂ්ක ලකුණු 2කි. මුහණ දුන්නේ පන්දු 09කට පමණි.
පන්දු 37කට මුහුණ දුන් දිමුත් කරුණාරත්න ලකුණු 17කි. ඩුප්ලිකේට් කෝලි බව කී කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි අවස්ථාවේ සිට ක්‍රීඩා කළේ දෙගිඩියාවෙනි. ඔහු පන්දු 26ක් තුළ ලකුණු 16කි. ඈන්ජලෝ මැතිව්ස් පන්දු 7කි. ලකුණු 05කි. සීමා ඉරෙන් පිටත සිටිය දි ඔහු දවා ගැනීමට බංගලාදේශ පන්දු රකින්නන් සමත් විය.. දිනේෂ් චන්දිමාල් පන්දු 13කි. ලකුණු 09කි. පස්වන කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යන විට ලකුණු 57කට කඩුලු 05කි.
ඉනිමේ රෙදි ගැලවී නිරුවත් වීම වැළකෙන්නේ ඉන් අනතුරුව ගොඩනැගුන අසිරිමත් සම්බන්ධතාවයත් සමගය. ඒ සම්බන්ධතාවය ගොඩනැගෙන්නට පෙර ලකුණු නොලබා සිටි කමිඳු මෙන්ඩිස් ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව ගිලිහි ගියේය.
ෂෝරිෆුල් ඉස්ලාම් පළමු පන්දුවට පළමු ස්ලිප් වෙත කමිඳු ලබා දුන් උඩපන්දුව එහි පන්දු රැකි මහමුදුල්ලා අතින් ගිලිහී ගියේය. එක පිට එක කඩුළු බිඳවැටෙමින් තිබූ ඒ අවස්ථාවේ ගිලිහුණ උඩපන්දුව මේ තරම් මිල අධිකවනු ඇතැයි බංගලාදේශ කණ්ඩායම කල්පනා කළේ නැත. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ආශ්වාදනීය ලෙස ගොඩනැගුනා මෙන්ම කමිඳු සිය මංගල ටෙස්ට් ශතකය පූර්ණය කළේය. ගිලිහෙන එක් අවස්ථාවක් තරගයක ඉරණම තීරණය කරන්නේය. සමහරවිට බංගලාදේශ කණ්ඩායම මේ තරගය ඒ උඩපන්දුවෙන් අත් හැරගත්තා වන්නට පුලුවන.
කමිඳු සහ ධනංජය අතර ඇතිවන ඒ මනරම් සබඳතාවය අතර ධනංජය ලකුණු 102ක් ලබන්නේ පන්දු 131ක් තුළය. හතරේ පහර 12කි. එක් හයේ පහරකි. කමිඳු මෙන්ඩිස් ලකුණු 102 පන්දු 127කිනි. හතරේ පහර 11කි. හයේ පහර 03කි.
ධනංජය සහ කමිඳු යන දෙදෙනාම එකම ඕවරයක අර්ධ ශතක ලබා ගත්හ. එකම ඕවරයේදී ශතක ද ලබා ගත්හ. ඔවුන්ගේ ස්ථාවරයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ මේ අවදානම් සහිත අවස්ථාවේ දී අනවශ්‍ය අවදානමක් නොගැනීමය. හතරේ සීමා ඉර ඉක්මවා ගියේ දුර්වල පන්දු පමණි. සෑම විටම පහසුවෙන් ඔවුහු එක ලකුණ සොයා ගත්හ.
දිවා ආහාරයෙන් පසු දෙවන භාගය තරගයේ මුළු ආදිපත්යයම තිබුනේ කමිඳු සහ ධනංජය අතේය. දිවා ආහාරයට පෙර කාර්තුවේ පාලනය මුළුමනින්ම තමන් සතුව සිටි බංගලාදේශ කණ්ඩායම දෙවැනි අර්ධයේදී හිස් අතගාමින් බලා සිටින තත්ත්වයකට පත් වූයේය. පන්දුව මෘදු වීමත් සමග ධනංජයට සහ කමිඳුට පහසු ලකුණු ගලා ආවේය. ඔවුහු දිවා ආහාරයට පසු කාර්තුවේ ලකුණු 125ක් ලබා ගත්හ.
කමිඳු දැවි ගොස් හවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගෙන අනගි සම්බන්ධතාවය බිඳි යෑමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම මුලුමනින්ම දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නට අවශ්‍ය වන්නේ පන්දු ඕවර 11 කි.
සිය මංගල ටෙට්ස් තරගය ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක නහීඩ් රානා ලකුණු 87කට කඩුළු 03ක්, කලිඩ් අහමඩ් ලකුණු 72කට කඩුළු 03ක්, ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 59කට කඩුළු 01ක්, ටජුල් ඉස්ලාම් ලකුණු 31කට කඩුල්ලක් ලැබූහ. ලහිරු කුමාර සහ ඈන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී ගියහ.
කෙසේ වෙතත් මේ තණතීරුව මුලුමනින්ම පැවතුනේ වේග පන්දු යවන්නන්ගේ අණසක මත බව ශ්‍රී ලංකා පන්දු යවන්නෝත් බංගලාදේශ කණඩායමට පෙන්වූහ.
කඩුල්ලට ලකුණු අනුව, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත බංග්ලාදේශයේ කඩුලු 03ක් දවාගෙනය මහමුදුල් හසන් ජෝයි ලකුණු 09ක් ලබාගෙන නොදැවීය. නායක නජ්මුල් හොස්සයි ෂන්ටො ලකුණු 05කට, සකීර් හසන් ලකුණු 09කට, මොමිනුල් හක් ලකුණු 5කට ක්‍රීඩාගාරයේය. නයිට් වොච්මන් ලෙස පැමිණි ටයිජුල් ඉස්ලාම් ලකුණු නොලබා හිඳී. බගංලාදේශය ලකුණු 32කට කඩුලු 03කි. ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 248ක් පසුපසිනි.
බංගලාදේශය ලබා ගත් ආරම්භයම ශ්‍රි ලංකාවද ලබාගෙන ඇත. දෙවැනි දිනයේ මුල් කාර්තුව තරගයේ ඉරණම තීරණය කරන වැදගත්ම පැය කීපය වනු ඇත.