ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි 20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් ප්‍රසිද්ධියේ විවේචනය කළ නායක වනිඳු හසරංගට පමුනුවන දඬුවම සම්බන්ධව අද අයි.සී.සී.ය සිය තීරණය ප්‍රකාශ කිරීමට නියමිතය.
පෙර වැරදි වලින් දැනටමත් ලබාගෙන ඇති වැරදි ලකුණු දෙකක් හේතුවෙන්, වරදකරු වුවහොත් හසරංගට T20I තරඟ දෙකක් හෝ වැඩි ගණනක තහනමකට මුහුණ දීමට සිදුවේ.
ICCය තවමත් නිශ්චිත ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති නමුත් ශ්‍රී ලංකා නායකයාට ඇති විය හැකි ප්‍රතිවිපාක සැලකිය යුතු මට්ටමක ඇත.
යම් හෙයකින් මේ චෝදනාවට අදාළව වනිඳු හසරංගට තරග තහනමක් පැනවුවහොත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන බංග්ලාදේශ තරගාවලිය ඔහුට අහිමි වේ.
කෙසේ වුවද මේ තරගයේදී ‘නිපන්දුව’ ලබා නොදීමෙන් වරදක් කළ විනිසුරුවන්ට දඬුවමක් ලබාදීමට අයිසීසීය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිති.
අයිසීසී ක්‍රිකට් නීති අනුව ‘පන්දු යවන්නකු විසින් යවන ලද බිම පතිත නොවන පන්දුවක්, පිතිකරණ රේඛාව පසු කරද්දී පිතිකරුගේ ඉණට ඉහළින් නම් එය නිපන්දුවක් වන්නේය’ ලෙස සඳහන් වන බැවින් කමිඳු මෙන්ඩිස්ගේ සිද්ධිය අනුව විනිසුරු පැහැදිලිවම වර
දක් කොට ඇත. එවැනි පන්දුවක් ගමන් කිරමේදී ‘ලෙග් අම්පයර්ගේ’ සහාය ලබා ගැනීම සිදුවන අතර, නිපන්දුව සංඥා කිරීමේ වගකීම විනිසුරුවන් දෙදෙනාගෙන් කුමන හෝ කෙනෙකු සිදු කළ යුතුය.
ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් පසු ක්‍රීඩා පිටියේදී මතභේදාත්මක ලෙස විනිසුරු ලින්ඩල් හැනිබල් විවේචනය කිරීම සම්බන්යෙන් නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආචාර ධර්ම කඩකළ බවට චෝදනා එල්ල විය.
හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇති අතර ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය වෙත අද දිනයේ ලබා දීමට නියමිතව ඇතැයි පැවසේ.
හසරංගගේ හැසිරීම ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව ඇත්තේ 2 මට්ටමේ චෝදනාවකි. – ( Dinamina)