නේපාලයේ සංචාරකයන් ආකර්ශනය කරන ප්‍රධාන නුවරවන Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ නේපාලයේ යෙටී ගුවන් සේවයට අයත් මගීන් 72ක් ප්‍රවාහනය කරමින් සිටි මගී ගුවන් යානයක් අද උදේ කඩාගෙන වැටුනේය.
මෙම අනතුර සිද්ධ වන්නේ කත්මන්ඩු අගනුවර සිට නේපාලයේ සංචාරක අගනුවර වූ Pokhara වෙත යානය ගමන් කරමින් සිටියදී ගමනාන්තය ආසන්නයේ දී ය. නගරයේ පැරණි හා නව ජාත්‍යාන්තර ගුවන්තොටුපල අතර ප්‍රදේශයට යානය ඇද වැටී ගිනිගෙන තිබුණු අතර මේ වනවිට එම බෑවුමේ නේපාල ගුවන් හමුදාව, ගුවන් තොටුපළ නිලධාරීන් සහ ගිනි නිවන භටයන් සමඟ එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම්හි නිරත වී සිටිති.
මේ වනවිට ගුවන් යානයේ සුන්බුන් අතරින් සිරුරු හතළිහක් සොයාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේය.
යානයේ සිටි 72 දෙනා අතර කාර්ය මණ්ඩලය 4 දෙනෙකු සහ මගීන් 68 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. මගීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයන්ය. ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකි. රුසියානුවන් සිව් දෙනෙකු සහ කොරියානුවන් දෙදෙනෙකු සිට ඇත. අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව , ආර්ජන්ටිනාව සහ ප්‍රංශය යන රටවලින් එක් මගියෙකු බැගින් ද යානයේ පැමිණ තිබේ.
ටෙයී ගුවන් සේවයට අයත් ද්විත්ව එන්ජින් සහිත ATR 72 ලෙස නම් කළ මෙම යානය වසර 15ක් පැරණි යානයකි. මේ යානය ගමන් කරමින් සිටියේ කත්මඩන්ඩු සිට පොක්රා දක්වා කිලෝමීටර 150ක දුරකි. එය පැය බාගයකට අඩු කෙටි ගුවන් ගමනකි.
අනතුර සම්බන්ධව නිල ප්‍රකාශක ක්‍රිෂ්ණා භණ්ඩාරි පැවසුවේ තවත් සිරුරු සොයා ගැනීමේ අභිලාෂයෙන් මෙහෙයුම් කරන බවය. “ගුවන් යානය කැබලිවලට කැඩී ගිනි ගන්නවා.” ඔහු වැඩිදුරටත් කීවේය.
යෙටී ගුවන් සමාගමේ ප්‍රකාශක සුදර්ශන් බර්ටවුලා පැවසුවේ ගලවා ගැනීම් සිදුකරමින් සිටියත් දිවි ගලවා ගත් අය සිටීදැයි නොදන්නා බවය.
සුන්බුන් ගිනිගෙන ඇති අතර ගලවා ගැනීමේ සේවකයින් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රාදේශීය නිලධාරි ගුරුදුත්ත ධකල් පැවසීය.
අනතුර පිළිබඳ පුවත වාර්තා වීමෙන් පසු රටේ අගමැති පුෂ්ප කමල් දහාල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇත. නේපාලයේ ගුවන් කර්මාන්තය මෑත වසරවලදී වේගයෙන් වර්ධනය වී තිබේ. භාණ්ඩ හා මිනිසුන් රැගෙන යාමට අපහසු ප්‍රදේශ අතර මෙන්ම දේශීය විදේශීය කඳු නගින්නන් ද ප්‍රවාහන වන්නේ ගුවන් මගිනි.
නමුත් ප්‍රමාණවත් පුහුණුවක් සහ නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් නේපාල ගුවන්සේවා අනාරක්ෂිත බවකින් පීඩා විඳින බව විදෙස් පුවත් ඒජන්සි පෙන්වා දෙයි. මේ තත්ත්වය තුළ යුරෝපා සංගමය සිය ගුවන් සීමාවෙන් සියලුම නේපාල ගුවන් යානාවලට ආරක්ෂාව සලසා දීම තහනම් කර ඇති බව ද එම වාර්තා පවසයි.
දක්ෂ ගුවන් නියමුවන්ට පවා අභියෝගයක් වන ප්රවේශයන් සහිත හිමෙන් වැසී ගිය කඳු මුදුන්වලින් වටවී ඇති ලොව දුරස්ථ සහ උපක්‍රමශීලී ධාවන පථ කිහිපයක් ද නේපාලය සතුය. .
ගුවන් නියමුවන් පවසන්නේ නේපාලයට නිවැරදි කාලගුණ අනාවැකි සඳහා යටිතල පහසුකම් නොමැති බවය. විශේෂයෙන් නිරන්තරයෙන් කාලගුණ ස්වරූපයන් වෙනස්වන, එමෙන්ම අතීතයේ මාරාන්තික අනතුරු සිදු වූ අභියෝගාත්මක කඳුකර භූමි සහිත දුෂ්කර ප්‍රදේශවල තත්ත්වය යාවත්කාලීනවන ආකාරයේ දත්ත පද්ධති දියුණු වී නැති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.