ලොව පුරා ගුවන් යානා, රොකට්, චන්ද්‍රිකා සහ මිසයිල සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සිදු කරන ප්‍රකට ඇමරිකානු බහුජාතික සමාගමක් වන බෝයිං සමාගමේ 737 මැක්ස් ජෙට් යානා සඳහා, ප්‍රකට ගුවන් යානා උපාංග සහ බඳ කොටස් නිෂ්පාදකයෙකු වන ස්පිරිට් ඇරෝසිස්ටම්ස් සමාගම විසින් නිපදවූ කොටස්වල ඇති ප්‍රධාන නිෂ්පාදන දෝෂයක් බෝයිං සමාගම නොසලකා හැර ඇති බවට හෙළිදරව් කල ජොෂුවා ඩීන් (ජොෂ් ඩීන්) පසුගිය අඟහරුවාදා දින හදිසියේ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
45 හැවිරිදි ඔහුගේ මරණය සිදුවන්නේ ජෝන් බානට් නම් තවත් බෝයිං සමාගමේ රහස් හෙළිදරව් කල පුද්ගලයෙකු මිය ගොස් මාස දෙකකට පසුව වීම විශේෂත්වයක් බව ද විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.
ඩීන් ඔහුගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව 2019 වසරේ දී ස්පිරිට් ඇරෝසිස්ටම්ස් සමාගමට සම්බන්ධව ඇති අතර 2020 වසරේ දී ඔහුට එහි රැකියාව අහිමිව තිබෙනවා. නමුත් නැවත 2021 වසරේ දී විගණකවරයෙකු ලෙස ඔහුව ස්පිරිට්ස් ඇරෝසිස්ටම්ස් සමාගමට බඳවා ගෙන තිබෙනවා.
2022 වසරේ දී සිදුකල විගණනයකදී බෝයිං සමාගමේ හි 737 මැක්ස් යානා සඳහා සිපිරිට්ස් ඇරෝසිස්ටම්ස් සමාගම විසින් නිපදවූ කොටස්වල නිෂ්පාදන දෝෂ ඇති බව ඩීන් හෙළිදරව් කල අතර බෝයිං සමාගම එය නොසලකා හැරි බවට ද ඔහු චෝදනා එල්ල කලේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දැනුවත් කළ බව ඔහු ප්‍රකාශ කළ නමුත් එය විසඳීමට ඔවුන් කිසිදු පියවරක් නොගත් බවට ද ඔහු චෝදනා කළේය. එසේ තිබිය දී දෝෂයක් මඟ හැරීමේ චෝදනාවකට ඩීන් 2023 වසරේ අප්‍රේල් මාසයේ දී සේවයෙන් පහ කොට තිබුණි. ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා තිබුනේ පළිගැනීමක් ලෙස තමා සේවයෙන් පහ කළ බවටයි.
කෙසේ වෙතත් රෝගී තත්වයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් ඔහු මිය යාමට පෙර සති දෙකක් පමණ අසාධ්‍ය තත්වයේ පසුවී සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.