කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට ගෙන ඇති තීරණය නිසා ආණ්ඩුව දෙකඩවන තත්වයක් ඇතිව තිබෙන බැවින් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.
නැගෙනහිර පර්යන්තයේ කොටස් සියයට 51 ලංකා රජයටත් සියයට 49ක් ඉන්දියාවේ අදානි සමාගමටත් බෙදී යන ආකාරයට බදු දීමට රජය තීරණය කර ඇති නිසා ඊට ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද මහා සංඝරත්නය, වෘත්තීය සමිති ඇතුළු බහුජන ව්‍යාපාර ද විරෝධය මතු කර ඇත.
රජය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධව යළි සලකා බැලිය යුතු බවත් ඒ අනුව එය නැවත කැබිනට් මණ්ඩලයේ දී පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් පසුගිය සතියේ ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධව ලබන සඳුදා පුළුල් ලෙස සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
නැගෙනහිර පර්යන්තය බදු දෙනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රථමයෙන්ම විරෝධය පල කළේය. ඊට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු හා ඇමතිවරු රැසක් මේ වනවිට ප්‍රසිද්ධියේම විරුද්ධත්වය පල කර ඇත.
උද්ගතව ඇති ත්තවය හමුවේ ආණ්ඩුවේ කටයුතු සාර්ථකව ඉදිරියට යෑමට නම් ආණ්ඩුවේ අභ්‍යන්තර සාමය ආරක්ෂා කරන ආකාරයේ සාමුහික තීන්දුවක් ගත යුතු බවත් ඒ පිළිබඳව සඳුදා සාකච්ඡා කර පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.