ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් සාමාජිකයෙක් අද (30) කොවිඩ් 19 වෛරසයේ අසාදිතයෙක් බව අද තහවුරු වීමත් සමග ඔහුගේ නිවසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර තිබේ.
ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාල කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන මෙම ආසාදිතයා මින් පෙර එම කාර්යාලයේ සංවර්ධන අංශයේ සේවය කළ ආසාදිත නිලධාරියා සමීපව ඇසුරු කළ අයෙකි.
පසුගියදා කන්දකාඩුවේ සිදුවීමත් සමග ලංකාපුර පවුල් 39ක් නිරෝධායනය කරනු ලැබීය. එම පවුල්වලින් ආසාදිතයන් 5 දෙනෙක් හමුවී තිබිනි.
එහිදී හමුවූ ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියා හා සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයන් 25කට ආසන්න ප්රමාණයක පමණක් පී.සී.ආර් පරීක්ෂණ කර තිබිණි. අද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පුද්ගලයෙකි.
මේ තැනැත්තා පසුගිය කාලය පුරාම විශාල පිරිසක් සමීපව ඇසුරු කළ බව ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. එමෙන්ම මුල් ආසාදිතයා හමුවූ අවස්ථාවේ සමස්ථ කාර්ය මණ්ඩලයම පී.සී.ආර් පරීක්ෂාවට ලක් නොකළ බවත් කියයි. මෙම කොවිඩ් ආසාදිතයා වාර්තා වූයේ එසේ කළ සීමිත පී.සී.ආර් පරීක්ෂණවලින් පසුව බවත් කියයි.
එහෙත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියන්නේ මුල් ආසාදිතයා හමුවූ පසු ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලයම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළ බවය.
කෙසේ වුවත් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, පසුගිය දා හමුවූ ආසාදිතයා වාර්තා වන අවස්ථාවේ කාර්යාලයට බොහෝ පිරිස් නොපැමිණීම හේතුවෙන් ප්රාදේශීය ලේකම්වරයාටත් යම් ගැටලුවක් ඇති වූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.