දිනසේන රතුගමගේ
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් ධූරය සදහා අලුතින් අයෙකු පත් කර ගැනීම කඩිනමින් සිදු කරන බවත් පක්ෂයේ ඉදිරි මග සාර්ථක කර ගැනීම සදහා තීරණ කීපයක් ගත් බවත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඊයේ (29) වවුනියාවේදී පැවසීය.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේ හෝටලයකදී පැවති අතර එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදින් ඇමතූ මාවෙයි සේනාධිරාජා මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධාන්යේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග හවුල් වී සිටින ප්‍රධානතම පක්ෂය වෙයි.
පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කරණු ලබන කේ.තුරෙයිසිංහම් කාලයක්ම එම තනතුරේ සේවය කළ නිසා ඔහු ඉල්ලා අස්වීමෙන් එම තනතුරට වහාම අයෙකු පත් කිරීමට පියවර ගැනීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තීරණය කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සදහා අම්පාර දිස්ත්‍රික්කයේ තවරාසා කලෙයිඅරසන් පත්කිරීම නීත්‍යානුකූල බවට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව කී මාවෙයි සේනාධිරාජා එම තීරණය දෙමළ ජාතික සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ දෙක වන ටෙලෝ හා ප්ලොට් පක්ෂ දෙක වෙත දැනුම් දෙන බවද පැවසීය.
2020 වසරේ පැවති මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩුවීමට හේතුවද ජනතාව දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කළ බවත් ඉදිරියේදී පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් මාවෙයි සේනාධිරාජා කීය.
සාකච්ඡාව අවසානයේදී මාධ්‍යවේදීන් ඇමතූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට පොදුවේ චෝදනා රැසක් මැතිවරණ සමයේදී එල්ල වූ අතර එම චෝදනා සම්බන්ධයෙන් පක්ෂයේ විනය මණ්ඩලය කටයුතු කිරීමට තීරණය කළ බවයි.
2020 වසර සදහා පළමු වතාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම නිසා සාකච්ඡා කිරීමට බොහෝ දේ තිබුණද ඒවා සාකච්ඡා කිරීමට නොහැකි වු බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු කිසිවක් මෙහිදී සාකච්ඡා නොකළ බවද කියා සිටියේය.
නමුත් රජය විසින් මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය හා ඉදිරිපත් කරණු ලබන යෝජනා දෙස බලා ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.