ජානක ලියනආරච්චි –
භූමිතෙල් පෝලිම්වල මිනිස්සු මැරී වැටෙමින් සිටිති. අද අවුරුදු 76ක් වූ තාත්තා කෙනෙක් මීරිගම දී තෙල් පෝලිමේ මැරී වැටුණේය.
ඊයේ මාකොළ දීත්, පෙරේදා නුවරදීත් වියපත් මිනිස්සු තෙල් පෝලිම්වල මිය ගියහ. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති ආකාරය අද මාලිගාවත්තේ දී පෙනුණි. බද්දේගමදීත් පෙනුණි.
මාලිගාවත්ත ඛේදවාචකයකි. රටේ දැවැන්තම භූමිතෙල් පොලිම ඇත්තේ මාලිගාවත්තේය. වර්ම මීටර පන්සියයේ මහල් නිවාසවලත්, වර්ග මීටර සීයක් දෙසීයක් කොටු කරගත් කොළඹ පැල්පත් නිවාසවලත් ජීවත්වන එදා වේල උපයාගෙන කන අසරණ මිනිස්සු වැඩි වශයෙන් ඒකාරාශීවන තැන මාලිගාවත්තය.
මේ මිනිස්සුන්ගේ බඩගින්න අද ගිනි ගත්තේය. ගෑස් නැත. ගෑස් වෙනුවට ගෙදර ලිප පත්තු කරගැනීමට භාවිතා කරන භූමිතෙල් නැත. මේ මිනිස්සු දවස් ගණන් පෝලිම්වලය. අද ඒ වේදනාව පිටාර ගියේය.
රටට විය හැකි දේ කුමක් දැයි දැන් සර් මාලිගාවත්තෙන් බලා ගත යුතුය. සර්ට බුද්ධි අංශවලින් තොරතුරු ගන්නට උවමනා නැත.. මේ මූණු දෙස බැලූ විට තේරුම් ගත හැකිය. මේ කතා කරන්නේ ඉහවහා ගිය බඩගින්නය. අන්ත අසරණ කමය. එදාවේල කුලියක් කරගැනීමට නොයා ලිප ගිනි අවුලා ගැනිමට ලාම්පුතෙල් බෝතලයක් වෙනුවෙන් කොළඹ ගිනි අව්වේ දවස් ගණන් සිටගෙන සිටි මිනිස්සුන්ගේ ජීවිත අසරණකමය.
ඩේලි මිරර් පළ කළ මේ වීඩියෝව බලන්න. ඒ මොහොතේදීත් වියපත් මිනිසෙක් ක්ලාන්ත වී ඇද වැටෙනු ඔබට බලා ගත හැකිය.
බද්දේගම ගෑස් පෝලිමක සිදුවූ අනීතික කටයුත්තක් වාර්තා කිරීමට ගිය තරුණයෙකුට පොලිස් පාට් දාන්නට ගිය බද්දේගම ඕ.අයි.සී.ඒ තරුණයාගෙන් බඩ කට පිරෙන්නට අසා ගත්තේය. දේශපාලන ගුබ්බෑයම් වලදී පැළඳගත් නිල ඇඳුම් මිනිස්සුන්ගේ පීඩනය ඉදිරියේ ගැලවී යමින් ඇත.
1/2
A tense situation erupted in Baddegama today when I tried to report a protest by the people against govt’s inability to provide Gas. Baddegama OIC continuously interrupted me. He used the word “තමුසේ” against me as I clearly heard, I had to reply the way it came#SriLanka pic.twitter.com/eEqu1FUycf— Kanishka De Lanerolle (@K_DeLanerolle) March 20, 2022
ගෑස් පෝළිම් විරෝධතා ව්‍යාපාර බවට පත් වෙමින් ඇති වටපිටාවක, භූමිතෙල් පෝලිම් මහජන කැරළි බවට පත් වෙමින් ඇති වටපිටාවක ඔය හිරි වැටුනු උද්දච්ඡ මුග්ධයන්ගේ හිරි ඇරෙන බව අප අත් දුටු ලෝක අත්දැකීමය.
අඩුම තරමින් මේ ගින්නට පිදුරු එක් නොකර සර්ගේ වන්දිභට්ට මරි මෝඩ ගෝලයන් ටික දවසකට කට පියාගෙන ඉනු ඇතැයි අපි අපේක්ෂා කරමු.







