නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් පවත්වාගෙන යන බව කී ගණිකා නිවාසයක් පොලිස්පති නියමයෙන් අද දහවල් වැටලුවේය. වැටලීමෙන් පසු අනාවරණය වී තිබුණේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් යම් සමාජ රැකවරණයක් සහිතව එම ජාවාරම කරගෙන ගොස් ඇති බවය.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් පවත්වාගෙන යන බව කී ගණිකා නිවාසයක් පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබිණි.
ගණිකා නිවාසය තිබුණේ පිලියන්දල කරදියානේය. ගම් පලාතේ සෑම දෙනාම මේ ගණිකා නිවාසයට කීවේ “ඩී.අයි.ජී ගෙ පොට් එක“ කියාය. ගණිකා නිවාසය හිමිකරු ලෙස ප්‍රදේශවාසීන් හඳුනාගෙන සිටි ඩී.අයි.ජී පොලිස් ලොක්කන් ලඟින්ම ඇසුරු කළ කෙනෙකි. ඉහළම දේශපාලන සබඳතා පවත්වාගෙන යන කෙනෙකි.
ඒ නිසාම මේ තරම් ප්‍රසිද්ධ ඩී.අයි.ජී.ගෙ පොට් එක පිලියන්දල පොලිසියෙන් හෝ කිසිම දූෂණ මර්ධන මෙහෙයුමකින් වැටලුවේ නැත.
පොලිස්පතිතුමාට තොරතුරු එන්නේ මේ ඩී.අයි.ජී ගණිකා නිවාසය ගැනය. වැටලීම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන්ට පැවරිනි.
අද (21) පිළියන්දල කරදියානේ පිහිටි ගණිකා නිවාස ගොඩනැගිල්ල වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් වටලනු ලැබුවේය. ගොඩනැගිල්ලට ඇතුළුවන තැන ඇති පිළිගැනීමේ කවුන්ටරය පසුපස බිත්තිය සැරසී තිබුනේ මැති ඇමතිවරුන්ගේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් සමග ගණිකා නිවාසය හිමිකරු ලබා ගත් ඡායාරූපවලිනි.
වැටලීම් කණ්ඩායම ගණිකා නිවාසයේ සිටි කාන්තාවන් දෙදෙනෙක්, එහි කළමනාකරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළේය. මූලික පරීක්ෂණවලින්ම හෙළි වූයේ මේ පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නොවන බවය. ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පෙනී සිටිමින් සමාජයම අන්දවා ඇති බවය.
ගණිකා නිවාසය හිමිකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.







