ගනි අවි රත්තරන් ප්ලේට් කර තියාගෙන හුරතල් කරන කතා ගැන ඉතිහාසයේ කොතැනකවත් අසා තිබුණේ නැත. ඒත් අද එහෙම කතාවක් ඇසුනේය. කතාව මෙසේය.
දිනය ඊයේ (20) සවස් වරුවය. කාන්තාවන් දෙදෙනෙක් රත්තරන් පාට කළ ටී 56ක් අරගෙන වැල්ලවත්තේ සුපිරි නිවාස සංකීර්ණයකට ඇතුළුවන්නට හැදූහ. එක් කාන්තාවක් විදේශික කාන්තාවකි. ඇය හතලිස් හැවිරිදිය. අනෙක් කාන්තාව හැට අට ඇවිරිදිය. ඇය මේ නිවාස සංකීර්ණයේ තනිව ජීවත් වන්නීය.
40 හැවිරිදි කාන්තාව මේ වියපත් කාන්තාවගේ ලේලිය. වියපත් කාන්තාවගේ පුතාගේ කසාද බිරිය මේ කාන්තාවය. රත්තරන් පාට අවිය තිබුණේ ඇය අතේය. රත්තරන් පාට කළ ගිනි අවි ගැන ලොවෙත් අසා නැත. එකපාරටම පෙනෙන්නේ මේ ටී 56 අනුරුවක් වගේය. නිකම් සෙල්ලම් බඩුවකට සමානය.
විදේශික සම්භවයක් සහිත කාන්තාවගේ රත්තරන් ගිනි අවි හැඩය සහිත උපකරණය ගැන එම නිවාස සංකීර්ණයේ කාන්තාවන් දෙදෙනා ප්‍රවේශ වුන විදුලි සෝපානය අසල ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියාට සැක සිතිනි. ඔහු කාන්තාවන්ගෙන් මේ ගැන විමසුවේය.
” මේක සෙල්ලම් එකක්…” විජාතික කාන්තාව සිනාසෙමින් පවසද්දී ආරක්ෂක නිලධාරියා මොහොතක් නිශ්ශබ්ද විය. ඔහු මේ ගිනි අවි හැඩය සහිත මොකක්දෝ එක ” කාන්තාවගෙන් ඉල්ලා ගත්තේය. අනතුරුව පරික්ෂා කළේය.
කාන්තාවන් නොදන සිටියාට මේ ආරක්ෂක නිලධාරියා ටී 56 ජීවිතයේ වැඩි කාලයක් අතපත ගෑ හිටපු පළපුරුදු හමුදා නිලධාරියෙකි. එය අතට ගත් ගමන්ම වැඩේ සෙල්ලමක් නොවන බව ආරක්ෂක නිලධාරියාට තහවුරු විය. රත්තරන් පාට ගා තිබුණේ අත්තම ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකි.
ආරක්ෂක නිලධාරියා වහාම හදිසි ඇමතුම් අංකයට කතා කළේය. ගිනි අවියේ කතාව පොලිසියට දැනුම් දුන්නේය. පොලිසිය වහාම ක්‍රියාත්මක වී අදාල වැල්ලවත්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. වැඩේ පැහැදිලිය. රත්තරන් ගිල්වූ ගිනි අවිය සමග නැන්දම්මා සහ ලේලිය අත් අඩංගුවට ගත්තේය.
විමර්ශන
අත් අඩංගුවට ගෙන තිබුණ ලේලිය පදිංචි බත්තරමුල්ලේය. ඇයගේ සැමියා ලංකාවේ නැත. ඔහු රැකියාව කරමින් ඉන්නේ කටාර් රාජ්‍යයේය. නැන්දනිය මෙම වැල්ලවත්ත සුඛෝපභෝගී මහල් නිවාසයේ හුදකලාව ජීවත්වන්නීය. විමර්ශන කණ්ඩායම් මුල සිට සිද්ධිය අධ්‍යයනය කරන්නට වූහ.
40 හැවිරිදි කාන්තාව මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන විට ඇය සතුව ගිනි අවියක් ඇතැයි නිරීක්ෂණය වී තිබුණේ නැත. ඇය සිය නැන්දනියගේ නිවසට ගොස් නැවත නිවාස සංකීර්ණයේ රථ ගාල වෙත තනිවම පැමිණ තිබිණි.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම අවස්ථාවේ දී ඇය සතුව මේ රන් පැහැගැන්වූ ගිනි අවිය තිබුණ බවය. එය තිබී ඇත්තේ වියපත් කාන්තාවගේ වැල්ලවත්ත නිවසේ බවය. ගිනි අවිය සහිත බෑගයක් ඇය මෝටර් රථය වෙත රැගෙන විත් තිබිණි. බෑගයෙන් ඉවතට ගත් ගිනි අවිය මෝටර් රථයේ පසුපසටත් හිස් බෑගය මෝටර් රථයේ ඉදිරිපසටත් දමාගෙන ඇය සිය නැන්දනියත් සමග නිවාස සංකීර්ණයෙන් පිටත් වූවාය.
පසුව මෙම කාන්තාවන් දෙදෙනාම කොම්පඤ්ඤවීදියේ පාවහන් අලෙවිසලකටත්, ටවුන්හෝල් ආසන්න සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වෙතත් ගියහ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගොස් තිබිණි.
වියපත් කාන්තාවගේ දියණිය සදාකාලික නින්දේ සැතපෙන්නේ මේ සුසාන භූමියේය. ඇය මීට අවුරුදු 5කට පෙර වැල්ලවත්ත මෙම මහල් නිවාස සංකිර්ණයේ ඉහළ මහළකින් පැන සිය දිවි නසාගෙන තිබුණාය. ඔවුන් ඒ සොහොන අසල ටික වෙලාවක් ගත කර තිබිණි. අනතුරුව ඔවුහු වැල්ලවත්ත නිවාස සංකීර්ණය වෙත පැමිණියහ.
ආරක්ෂක නිලධාරියාට 40 හැවිරිදි කාන්තාව අත තිබු ගිනි අවිය නිරීක්ෂණය වන්නේ මේ අවස්ථාවේදීය.
මේ වනවිට ගිනි අවිය සන්තකයේ තබා ගත් නැන්දා සහ ලේලිය රක්ෂිත බන්ධනාගාරයේය. ගිනි අවිය ගැන විමර්ශන ක්‍රියාත්මකය. මේ අවියේ කොටස්වල ඇති අංක එකිනෙකට වෙනස් බව විමර්ශන අංශ කියන්නේය. රන් ආලේපිත ගිනි අවිය කිසියම් චාරිත්‍ර විධියක් හා සම්බන්ධ ද?. එය දන්නේ නැත. මේ ගිනි අවිය අපරාධයක් සඳහා භාවිතා කිරීමට රැගෙන ගියේ ද?. අපට ඇති ආසන්නම සහ පිළිගත හැකි සැකය එයය. රත්තරනින් හැදුවත් ටී 56 තියෙන්නේ වෙඩි තියන්නටය.
සිද්ධිය ගැන විමර්ශනය පැවැත්වෙමින් ඇත. රත්තන් ගිනි අවි කේස් එක ගැන රටක් බලා ඉන්නා බව කිව යුතුය.







