රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගලයක ගැටී, එහි නූල් යානයේ එන්ජිම ඇතුළු අභ්‍යන්තර කොටස්වල එතීමෙන් සිදුවීමට ගිය මාරක අනතුරක් අද (15) අනූනවයෙන් වැළකී තිබේ.
යානයේ සරුංගලය ගැටී නූල් අභ්‍යන්තරයේ සිරවීමත් සමඟම ක්‍රියාත්මක වූ නියමුවන්, පුහුණු පියාසර සැසිය වහාම නතර කර යානය ආරක්ෂිතව නැවත රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇත. ඉන් අනතුරුව සිදුකළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් තීරණාත්මක කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවයි.
ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු කඩා වැටීමකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව පෙන්වා දෙන ගුවන් හමුදාව, මෙමඟින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව අවධාරණය කරයි.
මේ වන විට දිවයින පුරා සරුංගල් සමය ආරම්භ වී ඇති බැවින්, ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් තිබේ. ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවකි.
කටුනායක, රත්මලාන, මත්තල, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා සහ වීරවිල යන ගුවන් ධාවන පථ අවට මෙලෙස බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු කර ඇත. මේ හේතුවෙන් ගුවන් ගමන් ආරක්ෂාව වෙනුවෙන් ගුවන් තොටුපළවල් සහ ධාවන පථ අවට කලාපවල සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ගුවන් හමුදාව මහජනතාවගෙන් හදිසියේම ඉල්ලා සිටියි.







