තමාගේ මැදිහත් වීමෙන් තම සමාගමක් විසින් පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කර ගත් බවට පළවන සම්පූර්ණ අසත්‍ය චෝදනා සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
ඔහු මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් දේශපාලකයෙක් නොවන බවත් තමන් මෙම වගකීම භාර ගත්තේ ජනතාවට සේවය කිරීමේ අරමුණු සහිතව පමණක් බවත්ය.
පහුගිය දවස්වල තමන්ව ඉලක්ක කරගෙන දිගින් දිගටම එල්ල වු පදනමක් නැති බොරු චෝදනා දරාගෙන නිශ්ශබ්දව ඉන්නට බැරිම තැන විමර්ශනයක් ඉල්ලා සිදුකළ මෙම පැමිණිල්ල සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිවැරදි විමර්ශනයක් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.
මෙම කතාව ඇති වන්නේ කොළඹ වරායේ බහාලුම් පරීක්ෂාවේදී ඇති වූ ප්‍රමාදයත් සමග රේගු වෘත්තීය සමිතියක් පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවා බහාලුම් 323ක් පරීක්ෂාවෙන් තොරව මුදා හැරිය බවට චෝදනා කිරීමත් සමගිනි.
එම චෝදනාවත් සමග සමගි ජන බලවේගය සහ පොදු ජන පෙරමුණ ඇතුළු පාර්ශව චෝදනා කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ මැදිහත් වීමෙන් ඔහුගේ සමාගමක් මෙම බහාලුම් මුදාගෙන ඇති බවය.
ඊයේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අවධාරණය කළේ තමන්ගේ නමට හෝ තමන්ට අයත් සමාගමක නමකට කිසිදු බහාලුමක් වරායෙන් මුදාහැර නොමැති බවය. මේ දේශපාලන උවමනාවක් මත නැගූ බොරු චෝදනාවක් බව ද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
ඉන්පසු විපක්ෂය චෝදනා නැගූ එක්පෝ සමාගම ද ඊයේ ප්‍රතිචාර දක්වා තිබිණි. ඔවුන් පැවසුවේ ඔවුන් ගනුදෙනුකරුවන්ට භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් පහසුකම් සපයන්නේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා සපයන්නෙකු ලෙස පමණක් වන අතර ආනයන කරුවෙක් ලෙස නොවන බවය
ශ්‍රි ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව නිශ්කාශනය කරන ලදැයි කියන බහාලුම් 323න් තම සමගාම හෝ අනුබද්ධ සමාගමකින් ආනයනය කර හෝ නැවුගත කර හෝ වාප්පු නිශ්කාශන කටයුතු කර හෝ නොමැති බව ද ඔවුහු නිවේදනයක් නිකුත් කළහ.







