සූරියවැව නුවන් ජයසේකර –
වසර 06කට පෙර සිය බාල වයස්කාර දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කල පියෙකුට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයකදී අදාල චෝදනා සදහා වැරදි කරු වු චුදිතට වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 75,000ක දඩ මුදලක් හා අගතියට පත් චුදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල අද (16) සවස නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම්,වන්දි හා දඩ නියම වුයේ කතරගම ගෝතමීගම පදිංචි පානදුර ලෝකුරුගේ විරාජ් හේමන්ත නැමති 42 හැවිරිදි දෙදරු පියෙකුටය.
චුදිතගේ බිරිය මෙම සිදුවිම සිදුවීමට වසර කිහිපයකට පෙර පවුල් ආරවුලක් හේතුවෙන් චුදිතගෙන් වෙන්ව අවිස්සසාවේල ප්රදේශයේ වෙනත් පුරුෂයෙකු හා ජීවත් වී තිබේ. චුදිත හා දරුවන් දෙදෙනා පමණක් චුදිතගේ නිවසේ ජිවත්ව සිටියදී චුදිත පියා විසින් සිය බාලවයස්කාර දැරිය මෙළෙස බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.
චුදිත සිය බාල වයස්කාර දැරිය අවස්ථා ගණනාවකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇත. පසුව පියාගේ හිරිහැරය ඉවසාගත නොහැකිව සිද්ධිය පිළිබදව බාලවයස්කාර දැරිය විසින් ඇය ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරියට දැනුම් දි තිබේ.පසුව ගුරුවරිය විසින් ඒ පිළිබදව දැරියගේ වැඩිමල් සහෝදරයාට හා ආච්චි අම්මාට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් සිද්ධිය පිළිබදව කතරගම පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව සිද්ධියට අදාලව කතරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.
ඒ අනුව පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නගා තිබූ අධි චෝදනා 03ම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල චුදිතට මෙලෙස දඩුවම් නියම කෙරුණි.
චුදිතට එක් අධි චෝදනාවක් සදහා වසර 20 බැගින් අධි චෝදනා 03 සඳහා වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර එය වසර 20 ක කාලයක් තුළ සමගාමීව ගෙවී යායුතු බවටද නියෝග කෙරුණි.
මීට අමතරව එක් අධිචෝදනාවක් සදහා රුපියල් 25000 බැගින් අධි චෝදනා 03 සදහා රුපියල් 75000ක දඩ මුදලක්ද නියම කල අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් ඉහත දඩුවම් කාලයට අමතරව තවත් මාස 18ක සිර දඩුවමක්ද නියම කෙරුණි.
ඊට අමතරව අගතියට පත් වූ චුදිතගේ බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට නියෝග කල අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඩුවමක්ද නියම කෙරුණි.
නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න පැමිණිල්ල මෙහෙය වු අතර කතරගම පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් (86414) දේශප්රිය පෙනී සිටියේය.







