සිංහල කාන්තාවන් වඳ කිරීම පිළිබඳ ආන්දෝලනාත්මක චෝදනාවට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි නැවත සේවයේ පිහිටුවා නැතැයි නීති අංශ පවසයි.
අනීතික ලෙස අත්හටවූ වැටුපෙහි පිහිටුවා මෙතෙක් නොගෙවූ සියලුම හිඟ වැටුප් ලබා දෙන්නට පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර තිබේ.
වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි වර්ෂ 2019.05.24 සිට අනිවාර්ය නිවාඩු යවා තිබුණේ වැටුප් ගෙවීම් රහිතවය. ආයතන සංග්‍රහය ප්‍රකාරව එය වැරදි සහගත තීන්දුවක් බවත්, එම අනීතික තීන්දුව සම්බන්ධව කරුණු දක්වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුවට ට නියෝග කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාට ලිඛිතව දන්වන්නේ වෛද්‍ය ෂාෆිගේ වැටුප අත්හිටවනු ලැබුවේ හේතු ගණනාවක් මුල් කරගෙන බවය. ඔහු වැඩ තහනමට ලක් කළ යුතු බව නිරීක්ෂණය වන බවත්, ඔහුට එදිරිව දියත් වී ඇති නඩු කටයුතු නිමා වී නැති බවත්, වෛද්‍ය ෂාෆි ඔහුට වැටුප් ගෙවන ලෙස රෝහල් පරිපාලනයෙන් ලිඛිතව හෝ වාචිකව ඉල්ලීමක් කර නැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් රෝහලට පැමිණ පරීක්ෂණ සිදුකරමින් ඇති බවත්ය.
මේ කාරණාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිශ්චිත නියෝගයක් නොලද නිසාත් වෛද්‍යවරයාට වැටුප් ගෙවීම සිදුනොකළ බව රෝහල් අධ්යක්ෂවරයා දන්වා ඇත.







