මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියට ඊයේ (13) රාත්‍රියේ නවයයි තිහට පමණ වැලිකන්ද පුල්ලියාර්අඩි ප්‍රදේශයේදී තවත් වන අලියකු බිලි වී ඇත.
පසුගිය දොළොස්වෙනිදා ද පුලතිසි සීඝ්‍රගාමී දුම්රියට මෙම ස්ථානයේම වන අලියෙකු ගැටුනේය. අවුරුදු 35ක පමණ වන අලියෙක් ඒ අනතුරින් මිය ගියේය.
ඊයේ මීනගයා දුම්රියට ගැටීමෙන් මිය ගිය වන අලියා වයස අවුරුදු හතළිහක් පමණ වන බව වැලිකන්ද අඩවි සහකාර කේ.ඩී ජනක අප කළ විමසීමකදී සඳහන් කළේය.
දුම්රියේ ගැටුණු මෙම වන අලියා සිල්පර කොට 193 ක් පමණ ඉදිරියට දුම්රිය එන්ජිමෙන් තල්ලු වී ගොස් ඇතිි අතර ඉන් සිල්පර කොටන් තිහකට දැඩි ලෙස හානි සිදුවී ඇති බවද වැලිකන්ද පොලීිසිය සඳහන් කරයි.
දුම්රියේ ගැටුණු වන අලියා දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රදේශ්වාසීන් සහ වනජීවී නිලධාරීන් මෙන්ම පොලිසිය පැය තුනකට ආසන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර ඊට විශාල වෙහෙසක් ගැනීමට සිදු වු බවද වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
මෙම වන අලියා සමඟ මෙම ස්ථානයේම මීට පෙර වන අලි හයදෙනෙකු මියගොස් ඇති බව වැලිකන්ද අඩවි සහකාර කේ.ඩී ජනක අප කළ විමසීමකදී වැඩිදුරටත් පැවසීය. නිරන්තරයෙන්ම මෙම ස්ථානය හරහා සෝමාවතිය හා මාදුරුඔය වනෝද්‍යාන අතර වන අලි මාරු වන බවත් යළි යළිත් වන අලි ගැටෙන බව අත්දැකීමෙන්ම දත් දුම්රිය රියදුරුවරු මෙවැනි ස්ථාන සම්බන්ධව මීට වඩා වගකීමකින් යුතුව ධාවනය කිරීම අතිශයින් වැදගත් බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.