ශ්‍රියානි විජේසිංහ –
රිලා ගැහැණු සතුන්ට ලූපය පැළඳවීම මේ වන විට සාර්ථක ප්‍රතිපල පෙන්වමින් තිබෙන බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල පවසා සිටියි.
රිලා ගැහැණු සතුන්ගේ ගර්භාෂයේ ප්‍රමාණය සොයා බලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය මගින් නිර්මාණය කළ ලූපය, එම සතුන්ගේ ගර්භාෂයේ තැන්පත් කර ලබන සතිය වන විට මාස දෙකක් ගත වන බවත් එම ලූපය හොදින් ගර්භාෂය තුල රැඳී ඇති බවත් කරන ලද එක්ස්කිරණ පරීක්ෂණයන් මගින් තහවුරු වී ඇතැයි මහාචාර්යවරයා පැවසීය.
විශේෂයෙන්ම මෙම ලූපය ගර්භාෂය තුල හොදින් තැන්පත් වී ඇත්තේ තඹ මිශ්‍රකර නිර්මාණය කිරිම නිසා බව ද හෙතෙම පැවැසීය.
මෙහි දෙවන පියවර වන්නේ මෙම ගැහැණු සතුන් සමඟ පැටව් සෑදිය හැකි පිරිමි සතුන් දෙතුන් දෙනෙකු මාස 4ක් හෝ 5ක් රඳවා තබා ගැහැණු සතුන් ගැබ් ගන්නේද නැද්ද යන්න අධීක්ෂණය කිරීම යැයි මහාචාර්ය දංගොල්ල පැවසීය.
මෙහිදී ගැහුණු සතුන් ගැබ් නොගෙන සිටියහොත් ලූපය තැන්පත් කිරීමේ කාර්ය සාර්ථක බව ඔප්පු වන අතර එසේ ඔප්පු වුවහොත් එය ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බවද මහාචාර්යවරයා කීය.
ක්ෂේත්‍රයේ පශු වෛද්‍යවරුන් පුහුණු කර තම ප්‍රදේශයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හරහා රිලා ගහනය අවම කර ගැනීමට හැකිවන බවත් මෙම වැඩසටහන සාර්ථක වන්නේ නම් රිලවුන් රට පැටවීමට අවශ්‍ය නොවන බවත් මහාචාර්යවරයා පෙන්වාදෙයි.
මෙම ලූපයක් නිපදවීම සඳහා වැය වන්නේ රුපියල් 2000 මුදලක් බැවින් එය ඉතා ලාභ දායක කටයුත්තක් බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.







