ශ්‍රී ලංකාවේ වනජීවී සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා 2024 ජනවාරි 1 වැනිදා සිට යාල ජාතික වනෝද්‍යාන කලාපයට ඇතුළු වීමට අවසර දෙනු ලබන්නේ පුහුණු සහ සහතික ලත් සෆාරි ජීප් රථ රියදුරන්ට පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පත්කළ කමිටුවේ සභාපති වෛද්‍ය සුමිත් පිලපිටිය තහවුරු කර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියදුරන් සඳහා නිකුත් කරන ලද හැඳුනුම්පත පරීක්ෂා කරන ලෙස වනෝද්‍යාන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් අදාල ලියකියැවිලි නොමැති කිසිවෙකුට යාල කලාපයට ඇතුලුවීමට අවසර නැති බවත්ය.
අදාල ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සියලුම හැඳුනුම්පත් දෙසැම්බර් 30 වන විට සියලුම රියදුරන් වෙත නිකුත් කරන බවට ඔහු සහතික වී ඇත.
තවද, සංචාරකයින්ට අපහසුතාවයක් ඇති නොවන පරිදි සෆාරි රියදුරන් යාල කලාපයට ඇතුළුවීමට පෙර ඔවුන්ගේ හැඳුනුම්පත ඇති බවට සහතික වන ලෙස ද වෛද්‍ය පිලපිටිය හෝටල්වලින් ඉල්ලා සිටියේය.
යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අමුත්තන්ගේ අයහපත් හැසිරීම් පිළිබඳව වනජීවී ක්‍රියාකාරීන් දිගින් දිගටම අවධානය යොමු කර තිබිණි.