උන් අපට ගැහුවා නොවේය. වඩාගෙන හම ගැහුවේය. එහෙම ගුටි කෑමක් එක්දින තරගයක දි මෑතදිනම් කෑවේ නැත. මැච් එකට කලින් අසලංක දෙන බව කි මාර ගේම ක්‍රිකට්වලටම නාකි වෙමින් කණ්ඩායමේ යාව ජීව සාමාජිකත්වයට හිමිකරගන්නට වාසනාව ලද පොරවල් ටික හොඳටෝම ගැහුවේය. සනාගේ සුරතල් දනා කමිඳු වෙනුවට ආදේශ කර අපට දෙන ආතල් එකට සනාට හොඳටෝම ස්තුති කරන්නට මේ අවස්ථාවක් කරගැනීම වැදගත්ය. ක්‍රිකට් ලොලී අපි ඉන්නේ දැන් ප්‍රීතියෙන් පිනා ගොස්ය.
පළමුවෙනි වතාවට අංක හතර තමන්ට හුරු පුරුදු තැන ක්‍රිඩා කළ පවන් රත්නායක නොවන්නට අපට අබ සරණය. ඉල ඇට කැඩෙන්නට ගුටි කා ලකුණු 359ක් ස්කෝර් බෝඩ් එකේ තිබෙනවිට ක්‍රීඩා කර පළපුරුදු සෙට් එක ගැහුව ගැහිල්ල නම් ආසාවේ බැරිය.
පෝයට හෙවිසි ගහනවා සේ ආපු වෙලාවේ සිට ඔල්මොරාන්දම් වී පිත්ත හතර අතේ වනමින් හයේ හතරේ පහරවල් ගහන්නට දැරූ උත්සාහය ගැන ඇත්තටම බලා සිටි අපට පුදුම හිතුනේය.
එවන හැම පන්දුවටම එවැනි සෙල්ලම් කළ නොහැකි බව ක්‍රිකට් නොදන්නා අපට තේරේන විට මුන්ට නොතේරීම ගැන අපට දුක හිතෙන්නේය. කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඒ ආකාරයටය. කමිල් මිෂාරත් එහෙමය. පැතුම් ගේ අර්ධ ශතකය අපරාදයක් බව කිව යුත්තේ සංයමය තව ටිකක් පැවතුනා නම් එය තරග ජයග්‍රහණය කරවන ලකුණක් කරා ගෙන යන්නට හැකි අවස්ථාව තිබූ බැවිනි. ජනිත් ලියනගේ ගේ දුවද්දී දැවී යෑමත් සිදු නොවිය යුතු අපරාධයක් වූයේය. කෙසේ වෙතත් දැන් කතා කරන පලක් නැත. අප අපේ රටේ අපේ මිනිසුන් ඉදිරියේ අපේ තණතිලිවල දී එක්දින තරගාවලියක් පරාදය.

අද තරගය පරදින්නේ ලකුණු 53කිනි. එංගලන්ත කණ්ඩායම තරගාවලියේ පළමු වරට කාසියේ වාසිය දිනාගෙන ආර්.ප්‍රේමදාස ජාත්‍යාන්තර ක්‍රීඩාංගන තණ තීරුවේ මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය. දැවී ගියේ කඩුළු 03කි. උන් ලකුණු 357ක දැවැන්ත ඉලක්කයක් අපට දුන්නේය.
එංගලන්ත නායක හැරී බෲක් පන්දු 65 කදී නොදැවී ලකුණු 136 කි. ජෝ රූට් පන්දු 108 ක දී ලකුණු 111 කි. ඇත්තටම ආර් ප්‍රේමදාස තණ තීරුව මත ලකුණු 357ක් හඹා යෑම එක්තරා දුරට සිහිනයකි. එහෙත් ඒ සිහිනය සැබෑ කරගැනීමේ හැකියාව ද පෙනෙමින් තිබිණි. අවශ්‍ය වූයේ ඉවසිලි සහගත පරිනතිය ය.
සිය සිවුවන එක්දින තරගයේ දී ප්‍රථම වතාවට අංක 04 ස්ථානයේ ක්‍රීඩා කළ පවන් රත්නායක එවැනි විශාල ලකුණක් හඹා යන ආකාරය සිය මංගල ශතකය රැස් කරමින් කියා දුන්නේය. එංගලන්ත ඉනිම ජෝ රූට් ගොඩනැගූ ආකාරයට පවන් ශ්‍රී ලංකා ඉනිමේ අරටුව වූයේය.
එහෙත් ලකුණු 357 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ 47 වන ඕවරයේ දී ලකුණු 304 කට සියල්ලන් දැවී ගියේය. රත්නායක පන්දු 115දී ලකුණු 121 කි. පැතුම් නිශ්ශංක පන්දු 25 න් ලකුණු 50 කි. කමිල් මිෂාර පන්දු 17ක දී හතරේ පහර 05ක් සමග ලකුණු 22කි. කුසල් මෙන්ඩිස් පන්දු 09ක දි ලකුණු 20කි. දුනිත් වෙල්ලාලගේ පන්දු 24ක දී ලකුණු 22කි.

මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තයට එක්දින තරගාවලිය 2-1ක් ලෙස හිමි විය. 2023 මාර්තු මාසයේදී බංග්ලාදේශය බංගලාදේශය තුළ දී පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ පළමු විදේශීය තරගාවලි ජයග්‍රහණය මෙය ය.
එංගලන්ත පන්දු යවන්නෝ ආකර්ශනීය පන්දු යැවීමක යෙදුනහ. සෑම් කරන් රත්නායකට පන්දු යවමින් තරගය අවසන් කිරීමට පෙර ආදිල් රෂීඩ්, ජේමි ඕවර්ටන්, විල් ජැක්ස් සහ ලියම් ඩෝසන් යන සියල්ලන්ම කඩුලු දෙක බැගින් දවා ගත්හ.
නමුත් මෙම ජයග්‍රහණය තහවුරු කළේ ඔවුන්ගේ පිතිකරණ ආධිපත්‍යයෙනි. පිටියට පැමිණි පිතිකරුවන් පස් දෙනාගෙන් ලකුණු 50ට අඩුව දැවී ගියේ දෙදෙනෙකු පමණි. අඩුව දැවී රූට් සමඟ ලකුණු 126ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ ජේකබ් බෙතෙල් ද ලකුණු 65ක් ලැබුවේය. නායක හැරී බෲක් පන්දු 65 කදී නොදැවී ලකුණු 136 ක් ලැබුවේය.
රූට් සහ බෲක් එක්ව පන්දු 113ක් තුළ නොදැවී ලකුණු 191ක් රැස් කළහ. බෲක් හයේ පහර නවයක් සහ හතරේ පහර 11ක් එල්ල කළ අතර ඔහු මුහුණ දුන් අවසන් පන්දු 40 තුළ ලකුණු 101ක් ලබා ගත්තේය. අවසාන ඕවර පහ ශ්‍රී ලංකාව කරකවා දැමීමට එංගලන්ත පිතිකරුවන් දෙදෙනා කටයුතු කළහ. ඒ ලකුණු 88ක් ලබා ගනිමිනි.
ඔවුන් දෙදෙනා මෙසේ ඔසවා තැබුවේ පන්දු ඕවර 11ක් තුළ ලකුණු 40කට කඩුළු 02ක් දැවී ගොස් තිබූ ඉනිමකි.
බෲක් ගෙන් සහ රූට්ගෙන් අමතක නොවන ලෙස ගුටි කෑ හසරංග පන්දු ඕවර 10 තුළ ලකුණු 76කි. වැන්ඩර්සේ ද ඕවර 10ට 76කි. අසිත ප්‍රනාන්දුගේ පන්දු ඕවරයක සාමාන්‍ය ලකුණු 8.5කි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 4.9ක සාමාන්‍යයක් අවසන් ඕවරය තෙක් රැගෙන ආවේය. අවසන් ඕවරයේ දී ඔහු ලකුණු 13ක් ලබා දුන්නේය.
දැන් කතා කර වැඩක් නැත. හුරතලුන් ඇති කර ආතල් ගැනීම පසෙක තබා සනා දැන් ටීම් එකට කෝච් කරන්න පටන් ගත යුතුය. මක් නිසාද යත් විස්සයි 20 ලෝක කුසලානය කියා තරගාවලියක් ලංකාවේ සම සත්කාරකත්වය මත පවත්වන බැවින්ය.







