ආගමික සිද්ධස්ථානවලින් ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් ඉවත් කිරීමේ කිසිම සූදානමක් නැති බවත් එවැනි තීන්දුවක් ලබාගෙන නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය අද විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා නිවේදනය කළේය.
විශේෂ ආරක්ෂක තක්සේරුවකින් අනතුරුව ආරක්ෂාව සඳහාත්, විශේෂ ඉදිකිරීම් කටයුතු සඳහාත් දැනට ආගමික ස්ථානවෙත අනුයුක්ත කර ඇති හමුදා භට පිරිස් එම ආගමික සිද්ධස්ථානවලින් ඉවත් කරන බවට අද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගිය වැරදි ප්‍රචාරය දුටු මොහොතේම යුද හමුදා මූලස්ථානය ස්වකීය එක්ස් ගිනුමෙන් සහ මුහුණු පොතෙන් එම අසත්‍ය ප්‍රචාරය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ නියමය මත අද මෙම ප්රවෘත්ති සාකච්ඡාව ආරක්ෂක මූලස්ථානයේ දී කැඳවා තිබිණි.
එහිදී ආගමික සිද්ධස්ථාන සඳහා යොදවන භටපිරිස් ආරක්ෂක රාජකාරි සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවන ආකාරය සම්බන්ධ පැහැදිලි කිරීමක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්.සිසිර කුමාර දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඔහු පෙන්වා දුන්නේ පන්සල් 89ක් සඳහා යුද හමුදා භටයින් 1584 දෙනෙක් ආරක්ෂාවට සහ ඉදිකිරිම් ව්‍යාපෘති සඳහා යොදවා ඇති බවය. ඉන් 364 දෙනෙක් ආරක්ෂාව සඳහාත් 1220ක් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහාත් යොදවා තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.
ඉංජිනේරු සේවා බලකායේ කළමනාකරණය සහිතව විහාරස්ථාන සඳහා ලබා දී ඇති හමුදා නිලධාරීන් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති නිලධාරීන් කිසිවෙක් ඉවත් කිරීමට හෝ භට පිරිස් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය ගෙන නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළේය. එමෙන්ම මේ වනවිට ආරක්ෂාව සහ ඉදිකිරීම් සඳහා කිසිම කතෝලික හෝ මුස්ලිම් දේවස්ථානයක් වෙත ආරක්ෂාව ලබා දීමට යුද හමුදාවට අවශ්‍යතාවයක් පැන නැගී නැතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
“ඉදිකිරීම් කටයුතු සඳහා පන්සල් මගින් බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ආරක්ෂක අමාත්‍යාංශයට කරන ඉල්ලීම් තක්සේරු කිරීමෙන් අනතුරුව නිශ්ඡිත කාලයකට එම ව්‍යාපෘතියට අදාල භට පිරිස් නිශ්චිත එම ස්ථානයට යොමු කරනවා. මුදා හැරිය කාලය නිම වූ පසු නැවත ඔවුන් කැඳවනවා. ඒක තමයි පවතින ක්‍රමවේදය. ”
“බොහෝ විට ඇස්තමේන්තුගත කාලයේ දී එම භටපිරිස්වලට අදාල ව්‍යාපෘතියය පූරණය කරගත නොහැකි වුවහොත් යළි දීර්ඝ කිරීම් සිදුකරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ තක්සේරුව මතයි. බොහෝ වෙලාවට සාධාරණ කාරනා මත එසේ අනුයුක්ත කිරීම් දීර්ඝ කරලා තියනවා. ”
“ඒ වගේම ආරක්ෂාව කියන්නෙ නිරන්තරව සමාලෝචනය වෙන සංවේදී කාරණාවක්. යම් කිසි සිද්ධස්ථානයකට වේවා, ආයතනයකට වේවා ආරක්ෂාව සපයන්නේ ක්ෂේත්‍ර හමුදා මූලස්ථාන විසන් කරන ලද තක්සේරු වාර්තාවක් යුද හමුදා මූලස්ථානය විසින් සමාලෝචනය කිරීමෙන් පස්සේ. ආරක්ෂාව පවත්වා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීන්දු ගැනීම සෑම අවස්ථාවකම සිදුවුන්නේ ඒ ක්‍රමවේදයට. ඒක තමයි යුද හමුදාව විද්‍යානුකූලව ආරක්ෂාව සලස්වන විදිය. එම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන එකක්. ආරක්ෂාව ලබා දීම හෝ ඉවත් කිරීම සිදුවන්නේ ආගමික ආයතනයක හෝ යම් ආයතනයක ඉල්ලීමට නොවෙයි. යුද හමුදා මූලස්ථානය විසින් සිදුකරන විද්‍යාත්මක ආරක්ෂක තක්සේරුව මතයි.”
මේ ක්‍රියාවලිය කිසිසේත්ම ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ඉවත් කිරීමක් නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. එවැනි තීන්දුවක් රැගෙන නැති බව ඔහු ප්‍රකාශ කළේය. යුද හමුදා නිලධාරීන්ගේ ප්‍රධානම වගකීම සහ ඉලක්කගත රාජකාරිය සතුරු උවදුරක් සිදුවන අවස්ථාවක එය වැළැක්වීමට මැදිහත්වීම බව පෙන්වා දුන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බැරැක්කවල සිටිනා හමුදා නිලධාරීන් බැරැක්කවලට සීමා කිරීම යනු නිරන්තර පුහුණුවක් ලැබීම බවත්, යුදමය අවස්ථාවක් සඳහා මැදිහත්වීමට අවශ්‍ය ශික්ෂණය පුහුණුව, නවීන උපක්‍රම සම්බන්ධ යාවත්කාලීන වෙමින් අභ්‍යාසයක නිරතවීම බවත් අවධාරණය කළේය..







