-
මැයි දිනේ දවසේ රාජපක්ෂලා හිටියේ පන්සලේ ආගමික වතාවත් කරගෙන… ජේ.වි.පී වේදිකාවේ ප්‍රධාන මාතෘකාව රාජපක්ෂලා….
වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ මූලික ප්‍රශ්න යටගැසීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව මත සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව නැගී සිටීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) දින කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් ඇමතූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන් කළේ මහින්ද රාජපක්ෂයට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ඇති බව දන්නේ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා කළ ප්‍රකාශවලින් පමණක් බවත් මේ වනතුරුත් ඒ සම්බන්ධව ලිඛිත දැන්වීමක් නැති බවත්ය. ආණ්ඩුවේ මාධ්‍යවල මේ අඬහැරයෙන් පෙනෙන්නේ අල්ලස් කොමිසම කැඳවිමක් කරන බවට පෙර ලකුණක් බව පැවසූ නාමල් රාජපක්ෂ මැයි දිනය දා පන්සලට ගොස් ආගමික වතාවත් සැමරූ තමන්ගේ පවුලේ අය ජනතා විමුක්ති පෙරමුණු මැයි දින වේදිකාවේ ප්‍රධාන මාතෘකා වීමෙන් ආණ්ඩුවේ මානසිකත්වය පෙනෙන්නේ යැයි කීවේය.
“අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා. ඒක එදා තහවුරු වුණා. ඉතින් ජේවීපී වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු.
ජේවීපී එක 3% මට්ටමේ තියෙන කාලෙත් ගෝල්ෆේස් පිට්ටනිය පුරවලා රැස්වීම් කළා. හැබැයි දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන් මැතිවරණ කාලයේදී ලබාදුන් පොරොන්දු ඉටු කරනවද නැද්ද කියන එකයි. තමන් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරගන්න බැරි වුණාම මැයි රැලි පවත්වලා අපිට බැන්නට හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි මෙවර පෝය දිනය යෙදී තිබුණු නිසා මැයි රැලි පැවැත්වූයේ නැහැ. අපි පන්සල්වල ආගමික වතාවත්වලට මුල්තැන දුන්නා. හැබැයි ජේවීපී මැයි රැළියේදී අමතක කරන්නම බැරි වචන සෙට් එකක් තමයි ‘රාජපක්ෂලා’ සහ ‘පොහොට්ටුව’ කියන්නේ. ඒකෙන්ම ඔවුන්ගේ මානසිකත්වය පැහැදිලි වෙනවා.
ජනාධිපතිවරයා එහිදී කතා කළේ කම්කරුවන්ගේ අයිතීන්, රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කිරීම හෝ රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන නෙවෙයි. ඔහු කතා කළේ අපිව හිරේ දාන්නේ කොහොමද කියන එක ගැනයි. ලැජ්ජාවේ බැහැ! විධායක ජනාධිපති තනතුර වැටිලා තියෙන තැන ගැන කනගාටුයි. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් කියපු දේවල්ම තමයි.
මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. තාම ලිඛිතව ලියුම ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක මුලින් දෙනවා කියන්නේ ලියුම මඟ එනවා ඇති. දැනගන්න තියෙන විදිහට, බලහත්කාරයෙන් ලියාගත්ත ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න කිරීම් කරන්න හදන්නේ. ඒ ප්‍රකාශය ලබාදුන් පුද්ගලයා පවා දැන් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා තමන්ගෙන් ඒක ගත්තේ බලහත්කාරයෙන් කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔයිට වඩා දේවල්වලට උත්තර දීලා තියෙන කෙනෙක්.
අපි තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිවරයා මැයි දිනයේදී ජේවීපී වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දුන්නත්, ගරු විනිශ්චකාරවරුන් ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි කියලා අපි හිතනවා.







