සිම්බාබ්වේ සහ ශ්‍රි ලංකා තරගය වැස්සට සේදී ගොස් ඇත. අද (06) රාත්‍රි 09.15 වනවිට තරගය අත් හැර දැමීම පිළිබඳ තීරණය තරග තීරකවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ ඉනිමේ දී යැවීමට හැකි වූයේ පන්දු ඕවර 04ක් පමණි. මහ වැස්සක් ඇදහැලිනි. ඩක්වර්ත් ලුවිස් ක්‍රමය සලකා බැලීමට පසුව පන්දුවට පහර දෙන කණ්ඩායම පන්දු ඕවර 20ක් සදහා මුහුණ දිය යුතුය. දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ තරගයේ තීරණයක් නොලැබුන අවාසනාවන්ත අවසානයක් ප්‍රකාශ විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි පැවැත්වුන තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 273ක් ලබා ගත්තේය. ඒ කඩුළු 09ක් දැවී යාමෙනි.
විශිෂ්ට පිතිකරණයක නිරතවුන චරිත් අසලංක ලකුණු 101ක් නොදැවී වාර්තා කළේය. හතරේ පහර 5ක් සහ හයේ පහර 04ක් සමගින් චරිත් ලකුණු 101 රැස් කළේ පන්දු 95ක් තුළය.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 48ක දී ලකුණු 46ක් සහ සධීර සමරවික්‍රම පන්දු 31 දී ලකුණු 41ක් ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරූම් කමිටුවේ නව අත්හදා බැලීම් ෆේල්ය. ඩෙංගු හැදුන පැතුම් නිශ්ශංක වෙනුවට තේරූ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණඩායමට යළි කැඳවන්නේ කාලයකට පසුය. ආරම්භක පිතිකරු වූ ඔහු පන්දු 05කට පමණක් මුහුණ දී ලකුණු නොලබා දැවී ගියේය.

සිය මංගල එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩාකළ ජනිත් ලියනගේ එක් හතරේ පහරක් සහිතව ඉතාම අසීරු ඉනිමක් ක්‍රීඩා කර ලකුණු 24කට දැවී ගියේය . පන්දු 34කට මුහුණ දුන්නේය. සහන් ආරච්චිගේ ලකුණු 11කට ඉනිම නිමා කළේය.
ඛේදවාචකය වන්නේ දසුන් ශානක ලකුණු අතරට නොපැමිණ යළිත් වරක් අසාර්ථක වීමය. පන්දු 19කට තතනමින් මුහුණ දුන් දසුන් ලකුනු 08කට දැවී ගියේය. පෙනී ගියේ ඔහුගේ මානසික බිඳවැටීමය. බොහෝවිට දසුන්ට සිය ස්ථානය රැකගැනීමට නොහැකි තත්ත්වයක් මතුවීමේ ලකුණු පහළ වී තිබේ.

අවසාන වශයෙන් විලිලජ්ජාවෙන් ගැලවී මව්බිමේ දී සිම්බාබ්වේ කණ්ඩායමට පිළිගත හැකි ඉලක්කයක් ලබා දිමේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුනේ චරිත් අසලංක මතමය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් රිචාඩ් න්ගරාවා ලකුණු 39කට කඩුළු 02ක්, බ්ලෙසින් මුසාරබානි ලකුණු 62කට කඩුළු 02ක්, ෆරාස් අක්‍රම් ලකුණු 58ට කඩුළු 02ක් සහ සිකන්දර් රාසා ලකුණු 41ට කඩුල්ලක් ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත පන්දු යවන්නා ඩිෂාන් මධුසංශන්ක ය. වාස් ගෙන් පසු පළමු පන්දු ඕවරයේ පළමු පන්දුවෙන්ම කඩුළු දඩයම් කිරීමේ පරිචය යළි පෙන්වමින් සිටින්නේ මේ විශිෂ්ට තරුණයා ය. ඔහු පන්දු ඕවර 02ක් යැව්වේය. එකම ලකුණක්වත් ලබා දුන්නේ නැත. කඩුළු 02ක් දවා ගත්තේය.

Tinashe Kamunhukamwe මුහුණ දුන් පළමු පන්දුවේ දීම මධුසංඛට ගොදුරු වූයේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. නායක Craig Ervine ඔහුගේ දෙවැනි පන්දු ඕවරයේ 04 වැනි පන්දුවේ දී ගොදුරු කරගත්තේය.
තරගය නිම වෙන විට පන්දු ඕවර 04ක් තුළ කඩුළු 02ක් දැවී සිම්බාබ්වේ පිල ලකුණු 12ක් ලබා තිබුණේය. තීරණයකින් තොරව තරගය නිමා කිරීමට තීරණය විය.







