ශ්‍රියානි විජේසිංහ –
ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් උසාවියේ දී සදහන් කළ, කැබිනට්ටුවේ සිටිනවා යැයි කියු මහමොළකරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන තුරු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඒ සදහා අවශ්‍යකරන බලපෑම් කරන බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටියි.
මෙම වංචාව සම්බන්ධයෙන් නිලධාරින් පමණක් දංගෙඩියට ගෙනගොස් මේ ප්‍රශ්නය විසදිය හැකිද යන්න ගැටලුවක් වී ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් ඇතුලු නිලධාරීන් ගණනාවක් අත් අඩංගුවට ගෙන ඇතැයිද මෙසේ චෝදනාවන්ට ලක්වූ පිරිස අත්අඩංගුවට ගැනීම වරදක් නොමැති නමුත් එය මෙම ප්‍රශ්නයට විසඳුම නොවන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියයි.
සෞඛ්‍ය ලේකම්වරයා උසාවියේ හෙළිදරව් කළ කාරණා සහ සමාජ මාධ්‍යයෙන් හෙලිදරව් වූ කාරණාවන්ට අනුව දේශපාලන අධිකාරිය ඇඟිල්ල දිගුවී ඇති මොහොතක ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන කාපට්එක යට සඟවා මෙම ප්‍රශ්නයට විසදුමක් සෙවිය නොහැකි බව හෙතෙම පෙන්වාදේ.
ඉමියුනොග්ලොබියුලින් වංචාවට සම්බන්ධ සියලුම දෙනාගේ තරාතිරම නොබලා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන ලෙසත් එසේ වුවහොත් පමණක් මේ රට නිවැරදි දිශාන්තියට ගමන් කළ හැකිවනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.







