කොළඹ – දිලංගා ගෝමස් –
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා ඊයේ ආදරය හිතෙන නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසමට ගියේය. ඒ රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිතුමාට විරුද්ධවය. ක්‍රිකට් ආයතනය හිටපු ක්‍රීඩා ඇමතිවරයාට ලබා දුන් මුදල නිශ්ඡිතව අදාල කටයුත්තට වියදම් වී ඇතිදැයි සැකයක් මතුවන බව කී ක්‍රිකට් ආයතනය නියමිත අරමුදල් නියමිත ආකාරයෙන් වියදම් කිරීම සම්බන්ධව ජාතියට වගවීමට බැඳී සිටින බවත් කීවේය.
මේ සටහන තබන්නේ ඒ වගවීම පිළිබඳ කැපවීමේ ගෞරවය ෂම්මි සිල්වාට ලබා දෙමිනි. මේ කතාව අපට සාධක එක්ක කීවේ 2022 T – 20 ලෝක කුසලානය (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාවය.
මේ සටහන තබන්නේ වගවෙනවා නම් වගවිය යුතු ආකාරය ගැන ෂම්මිලාගේ ආදර්ශය පිළිබඳ වැදගත් පණිවිඩයක් යළිත් මේ රටට සිහි කරන්නටය.
සුපර් සොපර් යන්ත්‍ර කතාව

වර්ෂාවක් ඇති තෙත සහිත කාලගුණක දී ක්‍රීඩා පිටිය වියලන විශේෂ තාක්ෂණික මෙවලමක් තිබේ. එය හැදින්වෙන්නේ සුපර් සොපර් (Supr Sopper) නමිනි. ක්‍රීඩා පිටියේ ජලය ඉවත් කිරීමට සුපර් සොපර් යන්ත්‍ර 5ක් මිලදී ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මිල ගණන් කැඳවා තිබිණි. එම තීරණය ක්‍රිකට් ආයතනය විසින් ගෙන තිබුනේ 2019 අප්‍රේල් 30 දිනැති 04 වන විධායක කමිටු රැස්වීමේදී ය. ඒ සඳහා ආයතන තුනකින් මිල කියුම් හතරක් ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් කර තිබූ මිල ගණන් අතරින් තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතන තුනම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව වැඩිම මිල වූ රුපියල් 71,255,290 ( හත් කෝටි, දොලොස් ලක්ෂ, පනස් පන් දහස් දෙසීය අනූවක්) ඉදිරිපත් කළ සියරා ටෙක්නොලොජි සමාගමට ලන්සුව ප්‍රදානය කෙරිනි.
එම අනුමැතිය ලැබී තිබුණේ ඕස්ට්‍රේලියාවේ Sokhi Kurunda Manufacturing Pty Ltd ආයතනය නිශ්පාදනය කරන Whale Super Sopper යන්ත්‍ර මිල දි ගැනීම සඳහාය. මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ නිර්දෙශය ලබා දුන්නේ මින් පෙර එම යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ භාවිතා කර ඇති බවට දන්වමිනි. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුව මිලදි ගැනිමට අනුමැතිය දුන්නේය.
ග්‍රොඩ්ෆි දාබරේරා ගේ පරීක්ෂාව
මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදුන් යන්ත්‍ර පරික්ෂා කිරීම සඳහා 2019 නොවැම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රීඩා පිටි කළමනාකරු වූ ගොඩ්ෆ්‍රී දබරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් 603,350 ක් වැය කරමින් ඕස්ට්‍රේලයාවට යැව්වේය. ඔහු නැවත 2019 නොවැම්බර් මස 14 දින දිවයිනට පැමිණ, ඕස්ට්‍රේලියාවේ නිරීක්ෂණ චාරිකාව පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෙත ඉදිරිපත් කළේය.
එහිදී, ඕස්ට්‍රේලියාවේ පිහිටි Sokhi Australia Pvt Ltd නැමැති Super Sopper නිෂ්පාදන සමාගම නිරීක්ෂණය කළ බවත් 2019 පෙබරවාරි මස Kurunda Manufacturing Pvt Ltd නැමැති සමාගම Sokhi Australia Pvt Ltd සමාගම විසින් අත්පත් කරගෙන ඇති බවත් ග්‍රොඩ්ෆි දාබරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනවූයේය. ඊට අදාළ පවරා ගැනීමේ අවබෝධතා ගිවිසුමෙහි (MOU) පිටපත්, Sokhi Australia Pvt Ltd ආයතනයේ ලියාපදිංචි සහතිකය හා ඡායාරූප ද ඔහු විසින් ඉදිරිපත් කර තිබුණි.
අතේ පත්තු වුන පට්ට බොරුව
ඉදිරිපත් කර තිබූ ව්‍යාපාර පවරා ගැනීමේ අවබෝධතා ගිවිසුමෙහි (MOU) නෛතික වලංගුතාවය පිළිබඳ පරික්ෂා කිරීමේ දී 2019 වර්ෂයේ පෙබරවාරි මස Kurunda Manufacturing pvt Ltd ආයතනය අත්පත් කර ගත්තේ යැයි පැවසෙන Sokhi Australia pvt Ltd සමාගම පිළිබඳව කිසිදු සඳහනක් එකී MOU පතෙහි තිබි නොමැති බව හෙළි විය.
තවද Sokhi Australia pvt Ltd සමාගමේ ලියාපදිංචි සහතිකයට අනුව එකී සමාගම 2019 සැප්තැම්බර් මස 09 වන දින ලියාපදිංචි කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.
2019 සැප්තැම්බර් මස 09 වන දින ලියාපදිංචි කර ඇති සමාගමක් විසින් 2019 පෙබරවාරි මස වෙනත් ආයතනයක් අත්පත් කර ගැනීම ගැන ෂම්මි හෝ ඔහු වෙනුවෙන් තවමත් බැට් කරන නඩයට පුදුම නැත. ඒ වුනාට මේ ලියන අපට නම් එය මහා පුදුමයක් බව කිව යුතුව තිබේ.
ගොඩ්ෆ්‍රී දබරේරා විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ වාර්තාව සමඟ සුපර් සොෆර් යන්ත්‍රයක ඡායාරූපයක් ඉදිරිපත් කර තිබිණි. සොයාගෙන යද්දී ඔහු පරීක්ෂා කළ බවට තහවුරු කිරීමට ඉදිරිපත් කළ එම ඡායාරූපය 2013 වර්ෂයේ දී අන්තර්ජාලයට ඇතුළත් කරන ලද්දක් බව අනාවරණය විය.
මේ ව්‍යාජ වාර්තා ඉදිරිපත් කළ බරපතල නීති විරෝධී හැසිරීම සම්බන්ධව ගොඩ්ෆ්‍රි දාබරේරාට හෝ ඊට සම්බන්ධ වූ කිසිම නිලධාරියෙකුට දඬුවම් දී නොතිබිණි.
ගොඩ්ෆ්‍රී දාබරේරා යළිත් නිරුවත් වූ හැටි… එහෙම සමාගමක් ඇත්තෙත් නෑ…
මේ සුපර් සුපර් ගනුදෙනුව සම්බන්ධව විගණනය විශේෂ පරික්ෂණයක් කළේය. එහිදී ගොඩ්ෆ්‍රී දබරේරා විසින් ඕස්ට්‍රේලියාවෙ පිහිටා ඇති Sokhi Australia pvt Ltd නැමැති ආයතනයේ ලිපියනය ලබා දුන්නේය. විගණන නිලධාරීන් මෙම ආයතනයේ ලිපිනය වෙත නියෝජිතයෙක් පිටත් කර හැරියේය. සොයාගෙන ගිය විට එම ලිපිනයේ ආයතනයක් තිබුණේ නැත. පැවතියේ වසා දමා තිබූ නිවසකි.
Sokhi Australia pvt Ltd ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස හදුනාගෙන සිටියේ Avatar Singh නැමැති පුද්ගලයෙකි. විගණනයට එම පුද්ගලයා මුණ නොගැසුණු බවත් වට්ස්ඇප් මාර්ගයෙන් පමණක් සම්බන්ධ කර ගනිමින් Avatar Singh යන අය වෙනත් අයකු සම්බන්ධ කර තවත් ස්ථානයකට ගිය ද එම ස්ථානයේ ද එකී Super Sopper යන්ත්‍ර නොතිබුණු බවත් විගණනයේ දී අනාවරණය විය
දැන් Sokhi Australia pvt Ltd නැමැති ආයතනයක් නැති බව තහවුරුය. නමුත් Avatar Singh නැමැති පුද්ගලයෙක් අදෘශ්‍යමානව එම ආයතනයේ කළමනාකරු ලෙස පෙනී සිටී. ඔහු කතා කරන්නේ වට්ස් ඇප් මගින් පමණි. අවසානයේ දී ඔහු විසින් විගණන නිලධාරීන් මෙල්බර්න් ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටිය වෙත යොමු කළේය. ඒ Super Sopper යන්ත්‍රයක් පරීක්ෂාකර බැලීම සඳහාය.
වඳුරු කුණුහරපය වන්නේ එම යන්ත්‍රය Sokhi Australia Pty Ltd ආයතනයේ නිපදවන ලද යන්ත්‍රයක් යැයි තහවුරු නොවීමය. අවසානයේ දී මිල ගණන් ඉදිරිපත් කර ලන්සුව ලබා ගත් ආයතනය ඇත්ත වශයෙන්ම නැත. එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පුද්ගලයා පෙනී ඉන්නේ නැත. ලංකාවේ මින් පෙර භාවිතා කර ඇති බව කීවත් Sokhi Australia pvt Ltd විසින් නිශ්පාදනය කළ සුපර් සොපර් යන්ත්‍රයකුත් නැත.
ක්‍රිකට් ආයතනය නිසි පරිදි අරමුදල් කළමනාකරණය කරන්නට සැලසුම් පත්තු වන්නේ එසේය.
දෙවැනි උත්සාහය.
Super Sopper යන්ත්‍ර 05ක් මීලදී ගැනීම සඳහා වර්ෂ 2021 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් මිල ගණන් කැඳෙව්වේය. ඒ සඳහා ආයතන පහක් විසින් මිළ ගණන් ඉදිරිපත් කර තිබුණි.
එයින් රුපියල් 25,810,435ක් සහා රුපියල් 46,250,000ක් වන අවම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් දෙකෙහි super Sopper යන්ත්‍ර ප්‍රතික්ෂේප විය. එම යන්ත්‍රවල යෝග්‍යතාවය තීරණය කිරීම වෙනුවට ක්‍රිකට් ආයතනය කීවේ එම යන්ත්‍ර අපේක්ෂිත රටවල නිෂ්පාදනයන් නොවන බවය.
තාක්ෂණික ඇගැයීම් කමිටුව හා ප්‍රසම්පාදන කමිටුව විසින් තෙවන අවම මිල වන රුපියල් 81,574,725 ( අටකෝටි පහලොස් ලක්ෂ, හැත්තෑ හතර දහස් හත්සිය විසි පහක්) ක් ඉදිරිපත් කළ Bystec Holdings ආයතනයෙන් සුපර් සොපර් යන්ත්‍ර මිලදී ගැනීමට තීරණය කර තිබිණි.
නමුදු රුපියල් 81,574,725 කට සැපයීමට එකඟ වූ යන්ත්‍ර ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම මත Bystec Holdings ආයතනය විසින් රුපියල් 135,294,650 ක් දක්වා ඉහළ දැමීමෙන් සෘජුවම Sokhi Australia pvt Ltd නිෂ්පාදිත සමාගමෙන් මිලදී ගැනීමට විධායක කමිටු අනුමැතිය ලබා දී තිබු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන කළමනාකරු වන අසන්ත දසනායක විසින් අදෘශ්‍යමාන Sokhi Australia pvt Ltd ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන Avatar Singh වෙත මිල ආරාධනය යොමු කර තිබිණි.
නැවත ටෙන්ඩරය ලොවෙත් නැති සමාගමට
ඊට ප්‍රතිචාර දක්වමින් Sokhi Australia pvt Ltd ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා බවට සදහන් කරමින් Avatar Singh යන නමින් අසන්ත දසනායක වෙත ගෙවීම් තොරතුරු සහ බෙදාහැරීමේ කාලය පිළිබඳ තොරතුරු විමසමින් විද්‍යුත් තැපැල් පණිවුඩයක් යොමු කර නැවතත් සුපර් සොපර් යන්ත්‍ර පහ සඳහා මිල කියුම්, නාමමාත්‍ර එවා තිබිණි.
ඒ අනුව ප්‍රසම්පාදන කමිටුව විසින් එකක් ඇමරිකානු ඩොලර් 75,125 බැගින් සුපර් සොපර් යන්ත්‍ර පහක් සදහා ඇමරිකානු ඩොලර් 375,625 කට Sokhi Australia pvt Ltd ආයතනයෙන් සෘජුව මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසාද් සම්පත් විසින් Avatar Singh ට 2022 ජූලි මස 15 වන දින විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් මුදල් හුවමාරුව සිදු කිරීම සඳහා කොන්දේසි විරහිත බැංකු සුරැකුමක් ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජූලි මස 22 දින Avatar Singh විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අසන්ත දසනාය වෙත යොමු කරන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් මඟින් පාලනය කළ නොහැකි තත්ත්වයක් මත අපේක්ෂිත බැංකු සුරැකුමක් ලබා දිය නොහැකි බවත්, සුපර් සොපර් යන්ත්‍ර සඳහා මුළු මුදලින් 25%ක් පළමුවද ඉතිරි 75% නැව්ගත කිරීමෙන් අනතුරුව ගෙවන ලෙසත් දන්වා තිබිණි.
කෝටි ගණන් ගහන්නට අටවා ගත් සමාගම හෙළි වීම…
මේ ඉල්ලීම මත මුළු මුදලම ණයවර ලිපියක් හරහා ගෙවීම සඳහා හෝ මුළු මුදලින් 25% ක් බැංකු සුරැකුමක් රහිතව අත්තිකාරමක් ලෙස ගෙවීම හා ඉතිරි 75% යන්ත්‍ර නැව්ගත කිරීමෙන් අනතුරුව ගෙවීම සඳහා ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව මෙම යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 375,625 ක ණයවර ලිපියක් නිකුත් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා බැංකුව වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර ලංකා බැංකුව විසින් ඇමරිකානු ඩොලර් 375,625 ක් වටිනා ණයවර ලිපියක් නිකුත් කළේය. ඒ වෙනුවෙන් බැංකු ගාස්තු ලෙස රුපියල් 211,221ක් අය කර තිබුණි.
නමුදු Avatar Singh යන අය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රසාද් සම්පත් වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් ණයවර ලිපි හරහා ගෙවීම් ලබා ගැනීම පිළිගත නොහැකි බවට දන්වා ඇත.එහෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකා බැංකු කලමනාකරු වෙත ලිපියක් මගින් ණයවර ලිපිය අවලංගු කරන ලෙස දන්වා ඇත.
විගණන කටයුතු සඳහා මිලදී ගැනීමට අපේක්ෂා කරන ලද වර්ගයේ යන්ත්‍රවල ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ආයතනය ලෙස වෙබ් අඩවි මගින් හඳුනා ගන්නා ලද සමාගමෙන් සෘජුවම ලබාගත් මිල ගණන් අනුව අදාළ වර්ගයේ (Whale Super Sopper) යන්ත්‍ර 5 ක් කොළඹ වරාය තෙක් ගෙන ඒම සඳහා වැය වනුයේ ඇමරිකානු ඩොලර් 190,128 ක් බව හෙළි විය.
හඳුනා නොගත් Sokhi Australia Pvt Ltd සමාගම හරහා ක්‍රිකට් ආයතනය මෙම යන්ත්‍ර මිලදී ගන්නට නිර්දේශ කළේ ඇමරිකානු ඩොලර් 375,625 කටය.
එසේ උත්සාහ කරන්නේ Sokhi Australia Pvt Ltd නම් එම ඔස්ට්‍රේලියානු ආයතනය සුපර් සොපර් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් නොවන බව මුල් උත්සාහයේ දීම තොරතුරුත් සමග අනාවරණය වී තිබිය දීය.
විගණනය අවසානයේ දී හෙළි දරව් කරන්නේ Sokhi Australia Pvt Ltd යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපර් සොපර් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සකස් කරගත් අතරමැදි නියෝජිතායතනයක් බවය.
මේ අතේ පත්තුවුන නින්දා සහගත වංචාවේ ප්‍රමාණය ඇමරිකානු 185,497 (ඩොලර් එක් ලක්ෂ අසූ පන් දහස් හාරසිය අනූ හත) කි. රුපියල් 61,028,513 ( හයකෝටි දස ලක්ෂ විසි අට දහස් පන්සිය දහ තුන) ක වංචාවකි.







