ඉඳුනිල් කහටපිටිය –
රටේ විදුලිබල ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, රජය විසින් ආනයනය කරන ලද මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage System – BESS) 6ක් අද (30) අලුයම කොළඹ වරායට ළඟා කර තිබේ.
2025 වසරේ ජූලි මාසයේදී ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවීම් යටතේ ඇණවුම් කරන ලද මෙවැනි බැටරි පද්ධති 16න් ප්‍රථම අදියරේ 6ක් මෙලෙස දිවයිනට ලැබී ඇත.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම නවීන බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
පිරිවැය සහ විදේශ විනිමය විශාල ලෙස ඉතිරි වෙයි
මෙම එක් පද්ධතියක් මඟින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලිබල ශක්තියක් ගබඩා කරගත හැකි අතර, අධික විදුලි ඉල්ලුමක් පවතින රාත්‍රී කාලයේදී ඉන් මෙගාවොට් 10 බැගින් ජාතික පද්ධතියට මුදා හැරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම පද්ධති 6ම ක්‍රියාත්මක වීමෙන් ජාතික පද්ධතියට එක්වන මුළු ධාරිතාව මෙගාවොට් 60කි.
වත්මන් තත්ත්වය අනුව ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී විදුලි ඒකකයකට රුපියල් 115ක අධික පිරිවැයක් වැය වන නමුත්, මෙම BESS පද්ධති හරහා විදුලිය සැපයීමේදී ඒකකයක පිරිවැය රුපියල් 30 දක්වා අවම කරගත හැකිය. මෙමඟින් මෙරට විදුලි පාරිභෝගිකයන්ට සෘජු මූල්‍ය ප්රතිලාභ හිමිවන අතරම, ඉන්ධන ආනයනය වෙනුවෙන් මාසිකව වැය වන ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමට ද අවස්ථාව සැලසේ.
පරිසර හිතකාමී තාක්ෂණයක්
බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට පියවර ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම පද්ධති මඟින් කාබන් විමෝචනයක් හෝ වායු දූෂණයක් සිදු නොවන බැවින් පරිසර හානි අවම කරගැනීමට ද හැකි වෙයි.
දැනටමත් චීනය සිය බලශක්ති උත්පාදනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා මෙම BESS තාක්ෂණය භාවිත කරන අතර එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් ද මෙම ක්‍රමවේදය බහුලව යොදා ගනී.
මෙම බලශක්ති ගබඩා පද්ධතිවල පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින NSO (National System Operator Ltd) සමාගම මඟින් සිදු කිරීමට නියමිත අතර, එහි නඩත්තු කටයුතු ද අදාළ සමාගම වෙතම පවරා ඇත.
මෙතෙක් වුන දේ මෙන්න… මේ ලිපියත් කියවන්න…







