දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක බැංකුවල ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ඒ.ටිඑම් ) යන්ත්‍රවලින් සූක්ෂම ආකාරයෙන් මුදල් සොරා ගැනීමේ මෙහෙයුම දියත් කළ විදේශිකයන් දෙදෙනා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ට රුපියල් ලක්ෂ 50ක් ගෙවා බෙරී යාමට උත්සාහ දරා ඇති බවත් එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී තමන් සමඟ එක්ව මෙම මහා සොරකමට හවුල් වන ලෙසටත් ආරාධනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් ගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ට උගන්වන බවත් මෙම සූක්ෂම ක්‍රම භාවිතයෙන් විශාල මුදලක් උපයා ගත හැකි බවත් ඔවුන් මෙම විමර්ශන නිලධාරීන්ට පවසා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවද මෙම ආරාධනා නොසැලකූ අරාධ පරීක්ෂණ දොර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ට උදව් කළ බව කියන මීගහතැන්න පොලිසියේ පරිපාලන අංශය භාරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් සිව් දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුමේ මහ මොළකරුවා කැනේඩියානු පුරවැසි බව හිමි බල්ගේරියානු ජාතියකු වන අතර ඔහුගේ සහයකයා ද කැනෙඩියානු ජාතිකයෙකි. ඔවුන් මේ වනවිට රටවල් 10ක පමණ සංචාරය කරමින් සූක්ෂම ලෙස ව්‍යාජ තොරතුරු ලබා දෙමින් ඒ.ටීඑම් යන්ත්‍රය හැක් කිරිමකට ලක් කරමින් විශාල මුදලක් සොරා ගෙන තිබේ.
මේ සොරකම් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැවරීමෙන් පැය 48ක් ඇතුළත ඔවුන් අත්අංගුවට ගැනීමට විමර්ශකයෝ සමත් වූහ.
මෙම අපරාධකරුවන් දෙදෙනා ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කිරීමට ගමන්කර ඇත්තේ මෝටර් රථයකිනි. එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ පොලිස් පරක්ෂකවරයා වන අතර ඔහු බලපිටියේ පදිංචිකරුවෙකි.
මෙම විදේශිකයන් දෙදෙනාට සහය දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාට මෙන්ම පොලිස් නිලධාරියාට මොවුන්ව මුණ ගැසී ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවකදී සහ කායවර්ධන මධ්‍යස්ථානයකදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
ඔවුන් දෙදෙනා හැවලොක් සිටි තට්ටු නිවාස සංකීර්ණයෙන් නිවසක් රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික කුළියකට ලබාගෙන මේ දක්වා එහි රැදී සිට ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් කර ඇති විමර්ශන වලින් මේ වන විට අනාවරණය වී ඇත.







