එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත බව පක්ෂ දෙකේම ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී තරඟ කිරීම පිළිබඳව දැනට පැන නැඟී ඇති තීරණාත්මක ප්‍රශ්න විසඳීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ දෙකම තනි ළකුණක් යටතේ එක්ව තරඟ කරන්නේ ද සහ එහිදී එක් එක් පක්ෂයට ලැබෙන අපේක්ෂක ධූර සංඛ්‍යාව පිළිබඳව තීරණය කරන්නෙ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.
මේ වන විටත් පක්ෂ දෙක එක්ව තරඟ කරන්නේ නම් එක් එක් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඉදිරිපත්ව ඇති අතර ඊට හේතු වී ඇත්තේ දැනට පළාත් පාලන ආයතනවල සභිකයන්ගෙන් 3000කට අධික බහුතරයක් පොදුජන පෙරමුණට හිමිව තිබීම හේතුවෙන් ඔවුන් අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වීමයි. කෙසේ වුව ද, මේ සම්බන්ධයෙන් යම් එකඟතාවන්ට එළඹීමට හැකිවෙනු ඇති බව පවසන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහලේකම් සාගර කාරියවසම්, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරු සහභාගී වන බවයි. අද පැවැත්වෙන සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ ලේකම් පාලිත රංගේබණ්ඩාර, රුවන් විජේවර්ධන ඇතුලු පිරිසක් සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.