ආණ්ඩුවේ හරිත කෘෂි විප්ලවයෙන් පසු මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දෙදහස් දෙසීය දාහතක් ආනයනය සඳහා රුපියල් බිලිනයන 11ක් වැය කර ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂත්වය වන්නේ පසුගිය වසර පුරාම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩාවැඩි සහල් ප්‍රමාණයක් මේ අවසරේ ජනවාරි සහ පෙරවාරි මාසවල ආනයනය කිරීමය. පසුගිය වසර පුරාම ආනයනය කර තිබුනේ රුපියල් බිලියන 7.5ක සහල් ප්‍රමාණයක් බව වෙළෙඳපල ආරංචි මාර්ග දක්වයි.
විදේශ විනිමය අර්බුදයක කරවටක් ගිලී සිටියදී මෙම විනිමය ප්‍රමාණය සහල් ආනයනය සදහා රජය වියදම් කරන්නේ මේ රටේ ඉතාම ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි කෘෂිකර්මාන්තය පිළිබඳව ගත් අත්තනෝමතික තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
“රටේ ඉහළ තලයේ සෑම කෘෂි විද්වතෙකුම මේ තත්වය විද්‍යාත්මකව පුරෝකථනය කර පෙන්වා දුන්නා. ඇතිවෙලා තියෙන්නෙ ඒ නිර්දේශ පිළිනොගැනීමේ ප්‍රතිඵලයයි…“. ක්ෂේත්‍රයේ විශිෂ්ට කෘෂි විද්වතෙක් අප කළ විමසුමක දී පැවසීය.
කෙසේ වෙතත් මේ මාස දෙක තුළ වැඩිපුම සහල් ආනයනය කර ඇත්තේ අධික කෘෂි රසායනික යෙදවුම් සහිතව සිය ගොවිතැන කරන ඉන්දියාවෙනි. එම සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ දාහත් දහස් හාරසිය හැත්තෑ එකකි.
එවැනිම රසායනික කෘෂි යෙදවුම් බහුලව යොදන පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490ක් ද, මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1125ක් ද ආනයනය ආනයනය කර ඇතැයි රේගු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
විශේෂත්වය වන්නේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස අපම නම් කරගන්නා ලංකාවට සිංගප්පූරුවෙන් සහ ඉතාලියෙන් ද සහල් ගෙන්වා තිබීමය.
සහල් ගෙන්වූ රටවල් අතර චීනය, තායිවානය, ජපානය ද වේ. කෙසේ වෙතත් පසුගිය කන්නයේ අස්වැන්න පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ සාර්ථක බවත් අස්වැන්නේ පොදුවේ ඇත්තේ සියයට විස්සක පමණ අඩුවක් බවය. සමහර තැන්වල සියයට විසිපහක අඩුවක් පෙන්නුම් කළත් බොහෝ තැන්වල අස්වැන්න අඩු වී තිබුනේ සියයට දහයකින් පමණක් බවය.