දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල අපරාධකුවෙක් මෙන්ම ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ නදුන් චින්තක නොහොත් හරක්කටා විසින් පහසුකම් කීපයක් ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් අද සලකා බලා තිබිණි.
හරක්කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විසින් අද අධිකරණයට පවසා තිබුනේ විත්තිකරුට දැනට එක් නීතිඥයෙක් හමුවීමට ලබා දී ඇති විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසය.
එමෙන්ම විත්තිකරු රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එසේම විත්තිකරුගේ මව, පියා සහ බිරිය හමුවීම සඳහා දැනට ලබා දෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙස හා ඔහුගේ දරුවා සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙසත් හරක්කාටගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම විතිත්කරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලුවේය. විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද හරක්කටාගේ නීතිඥවරයා ඉල්ලුවේය.
මෙම කරුනු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විත්තිකරු විසින් ඉදිරිපත් කළ පහසුකම් අතරින් ලබා දිය හැක්කේ කවරක්දැයි කරුණු පරීක්ෂා කර බලා අධිකරණයට දන්වන ලෙස රජයේ නීතිිඥ සජිත් බණ්ඩාර වෙත නියෝග කළේය.







