දිනසේන රතුගමගේ
යාපනයේ චුන්නාකම් ගම්මානයේ උදවිය පමණක් නොව මුළු යාපනයේම උදවිය ”පෙට්ටි අම්මා ” කී සැණින් ඇයව හදුනන්නේය.
වයස අවුරුදු අනූවකට ආසන්න වූවත් ඇගේ අතපය මෙන්ම ඇඟිලි තවමත් තල් කොළ එක්ක ගැටෙන්නේ විදුලි සැර වේගයෙනි.
දෑස් අයාගෙන පෙට්ටි අම්මා විශාල තල් කොළ පෙට්ටි උකුල මත තබාගෙන වියන්නේ ඇස් දෙකේ පෙණුමටමය. කොතරම් වයස වූවත් ඇගේ ඇස් දෙක තවමත් ඉතා තියුණු ලෙස පෙණෙන්නේය. ඇඟිලි වෙව්ලන්නේම නැත. ඉතාම කඩිසරය. ලතාවකට මෙන් පාට දැමූ තල් කොළ ඇගේ ඇඟිලි තුඩු මතින් එහා මෙහා යනවිට ඇගේ උකුල මත හැඩ වන්නේ විවිධ රටා මැවූ විශාල තල් කොළ පෙට්ටියක්ය.
නමින් චින්නරාසා පාක්‍යම්දේවී වුවත් ඇගේ හැකියාවන් කිසි විටකත් සින්න ( කුඩා ) නොවේ.
යාපනයේ කවුරුත් ඔවුන්ගේ උත්සවවලට කෑම දමා ගැනීමට තල් කොළ පෙට්ටියක් වියවා ගන්නේ නම් ඒ පාක්‍යදේවී අම්මාට කීමෙනි.. ඇය මුදලට වඩා අගය කරන්නේ ඇගේ දැණුමය.
ඇයගේ අත් දෙකෙන් වියැවෙන අපූරු රටා සහිත තල්කොල වට්ටි පෙට්ටි ගැන ඇයම උජාරුවෙන් කතා කරනවා මිස ඇගේ හැකියාවට මෙතෙක් ලැබුණු සම්මානයක් හෝ පදක්කමක් නැත්තේය.
යාපනයේ තල් කොළ ආශ්‍රිත නිමැවුම් විශාල වශයෙන් දක්නට ඇතත් ඇගේ නිමැවුම් වලට ගසන්නට තවමත් තල් කොළ නිපැයුම් යාපනයේ බිහි වී නැති තරම්ය.
යාපනයේ චුන්නාකම් සභාපති පාරේ කුඩා නිවසක ජීවත් වන මේ ”පෙට්ටි අම්මා” කෙදිනක හෝ ජීවිතයෙන් සමුගන්නේ පාරම්පරික යාපනයේ තල් කොළ ආශ්‍රිත ඥානය ද රැගෙනය.
පාක්‍යම්දේවී අම්මාගෙන් එසේත් නැත්නම් යාපනයේ පෙට්ටි අම්මාගෙන් ඒ ශිල්පය මෙතෙක් කිසිවෙකු හෝ නිසි ලෙස ඉගෙන ගෙන නොමැත.
එය මුළු යාපනයේම පමණක් නොව උතුරේ තල් කොළ කර්මාන්තයේම ඛේදවාචයක් බව විශ්වාස කරමි.