ලලිත් චාමින්ද
පක්ෂයට ගත යුත්තේ නොගත යුත්තේ කවරෙක්දැයි තමා හොඳින්ම දන්නා බවත් ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට කිසිවෙක් සූදානම් නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල උළුවිටිකේ දුලංගා හෝටලයේ ඊයේ (03) පැවති ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවකට එක්වෙමිනි. සමගි ජන බලවේග නායකයා තවදුරටත් අවධාරණය කළේ පක්ෂයට පුද්ගලයින් සම්බන්ධ කරගැනීමේ දී පුද්ගලික කාරණා ගැන සැලකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයින් බවත්, තැන් තැන්වල ගොස් විවිධ කතා කියමින් කයිවාරු ගසා පක්ෂය වට්ටන්නේ නැතිව සිටින ලෙස එම පුද්ගලයින්ගේ ඕනෑකමින් ඉල්ලා සිටින බවත්ය.
තවද විපක්ෂ නායකවරයා දැඩිව කියා සිටියේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සෘජු තීන්දු ගැනීමේ දී තමා කාටවත් බය නොමැති බවත්ය. ජනතාවට සේවය කිරීමට බැරිනම් පක්ෂයෙන් ඉවත් වී ගියාට තමන්ගේ කිසිම අකමැත්තක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ ද කීවේය.
“මම දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමටයි. එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් කරන්න එපා. වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ මම දන්නවා. ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට මාගේ අමනාපයක් නැහැ. පුද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කර ගෙන පුද්ගලයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. එවැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් සැළකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයන්. දේශපාලනය තුළ පරිණත හා පුළුල් දැක්මක් සහිත පුද්ගලයන් සිටිය යුතුයි..
දුර්වල තැන්වල වෙනස්කම් සිදු කළ යුතුයි. මේ මැතිවරණ වසරේ හිතවත්කම් මත කටයුතු කරන්න බැහැ. ජනතාව හමුවට ගොස් යුතුකම් ඉටු කළ යුතුයි.”
“සමගි ජන බලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්ෂයක් එය ජයග්‍රාහී තැනට ගෙන ඒමේ අභියෝගය නායකයා ලෙස තමාට පැවරි තියෙනවා. පක්ෂය පුළුල් කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසර දුන්නා. එම නිසා විවිධ පුද්ගලයන් පක්ෂයට බඳවා ගත් නමුත් කිසිදු ජාතිවාදියෙක් ආගම්වාදියෙක් දූෂිතයෙක් වංචාකාරයෙක් බඳවා ගන්නේ නැහැ.”
“තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ පක්ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සෘජු තීන්දු ගැනීමේ දී තමා කාටවත් බය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත්සදහන් කළේය.”
එමෙන්ම විපක්ෂ නායකවරයා බාල බෙහෙත් ගෙනා කෙහෙළිය රඹුක්වැල්ල ගැන ද සිය කතාවේ දී සඳහන් කළේය. හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල තවමත් ඇමති පුටුවේ සිටින බවත් ඔහු ඉවත් කිරිමට ජනපතිට කොන්දක් නැති බවත් ඔහු කීවේය.
ජනපතිට කොන්දක් නැතිනම් කෙහෙලියට විරුද්ධව ගෙන එන නව විශ්වාසභංගයේදී සහාය දක්වන ලෙස පොහොට්ටුවේන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස කීවේය.
“බාල බෙහෙත් සමාජයට නිකුත් කිරීමේ වරද ගැන සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ සමහර විපක්ෂයේ විකල්ප විප්ලවකාරි කණ්ඩායම් එයට විරුද්ධ වුනා. දින තුනක් මේ ගැන වාද විවාද කළත් අවසානයේ ලැජ්ජා නැති පොහොට්ටුවේ 113දෙනා කෙහෙලියව රැකිමට අත එසවුවා.. ඒ අත ඔසවපු අයත් බාල බෙහෙත් වංචාවට වග කිව යුතුයි…”
මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය ඇමති සුජිව සේරසිංහ, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන ගයන්ත කරුණාතිලක, ශාන් විජේලාල් ද සිල්වා, චන්දිම විරක්කොඩි, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







