ගෑස් සිලින්ඩරයේ අනුකූලතා ප්රමිතීන් පිළිබඳ ස්ටිකරයක් ප්රදර්ශනය කිරීමට ලිට්රෝ සමාගම එකඟ බවට අභියාචනාධිකරණය හමුවේ අද දැනුම් දී තිබේ.
එමෙන්ම ඉදිරියේදී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී SLSI ප්රමිතීන්ට අනුකූලව කටයුතු කරන බවට ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දන්වා ඇත.
සිවිල් සංවිධාන ක්රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද (15) රුවන් ප්රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.
එම අවස්ථාවේදී ලිට්රො ගෑස් සමාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ තම සේවාදායකයින් විසින් වෙළෙඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට කටයුතු කර ඇති බවය.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නියමිත සංයුතියක් මේ වනවිට නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහි පැවතිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්රමිති කාර්යාංශයේ ප්රධානත්වයෙන් රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුනි.
ප්රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මේ වන විට වෙළෙඳපොළට මුදාහරිමින් තිබෙන බව ද ඔහු පවසා ඇත.
එමෙන්ම ඉදිරි කාලයේදී ප්රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට ගෑස් මුදාහැරීමට පියවර ගන්නා බවද ලිට්රො ගෑස් සමාගම අධිකරණයට දන්වා සිටියේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් එකඟ වන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මෙහිදී අධිකරණය ලිට්රො ගෑස් සමාගමට නියෝග කළේ එම කරුණු සියල්ල ඇතුළත් කර හෙට දින දිව්රුම් ප්රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
ඉන් අනතුරුව එම පෙත්සම සමථයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බවද අධිකරණය පාර්ශ්වකරුවන්ට දැනුම් දී ඇත.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීම නිසා ඇතිවු අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි හෙට (16) දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.