කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව සොරු බිඳීමේ පැරණි සිද්ධියක් සම්බන්ධයෙන් එකී අපරාධය සම්බන්ධයෙන් අධිකරණමය හා පරිපාලනමය පියවර ගනු ලැබූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සම්බන්ධයෙන් ඔහුට පෞද්ගලිකව අපකීර්තියක් ගෙන දෙන පරිදි අසත්‍ය පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ උත්සාහයක් පවතින බව අධිකරණ සේවා සංගමයේ ලේකම් ධුරය දරන විනිසුරුවරයෙකුගේ අත්සනින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.
අපක්ෂපාත වීම හේතුවෙන් විනිශ්චයකාරවරුන්ට කරනු ලබන කවර මට්ටමේ හෝ බලපෑමක් අධිකරණයේ ස්වාධීනත්වයට කරුණු ලබන බලපෑමක් වී මුළු අධිකරණ පද්ධතියම ක්‍රමිකව දුර්වල කිරීමට හේතු වන බව ද එම ලිඛිත පැමිණිල්ලේ දක්වා ඇත.
අවස්ථානුකූලව අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ විනිශ්චයකාරවරුන් පුද්ගලිකව අපකීර්තියට පත්කිරීමේ උත්සාහය වැළැක්වීම යන තේමාව යටතේ විනිසුරුවරුන් මෙම ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇත්තේ ඊයේ අධිකරණ ඇමතිවරයා විසින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයේ විනිසුරුවරුන් කීපදෙනෙක් නම් කමින් සිදුකළ නිර්දය විවේචනයෙන් පසුවය.
පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කීවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස පැවති කෝටි විස්සක විස්කි සොරකමක් සම්බන්ධව චෝදනා ලැබ සිටින බවය.
අද ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මේ සම්න්ධයෙන් දීර්ඝ පැහැදිලිකිරීමක් කළේය.
ජනාධිපති නීතිඥවරයා මෙසේ ද පැවසුවේය.

“අධිකරණය සම්බන්ධයෙන් ඉතා ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙන බව අපට කියන්න සිදුවී තිබෙනවා. ලංකාවේ සමහර වෘත්තීන්හි නියැලී සිටින අයට තමන්ට එල්ල වෙන විවේචනයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. අධිකරණ විනිසුරුවරුන් කියන්නෙත් එවැනි පිරිසක්. ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් තැනක හෝ පුවත්පතක පළ කර තිබෙන දෙයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විවිධ විනිශ්චයකාරවරුන්ට චෝදනා මාලාවක් එල්ල කළා. සමහර විනිසුරුවරුන් නඩු විභාග කළ ආකාරය ගැනත් චෝදනා කළා. “
“විජේදාස රාජපක්ෂ මහතා පාර්ශ්වකරුවෙකු වූ නඩුවකදී අගතියක් වූ බව ප්‍රකාශ කළා. එවැනි ප්‍රකාශයත් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැකිද? සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැක්කේ ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමයි. විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගතියක් ඇති බව හැඟෙන්නේ නම්, ඒ නඩුව විමර්ශනය කිරීමට වෙනත් විනිසුරුවරයෙකු පත්කරන ලෙස ඉල්ලා සිටීමේ හැකියාවක් තිබෙනවා.”
“තමන්ගේ නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මෙලෙස පහර ගැසීමෙන් පසුව ඒ විනිසුරුවරුන්ට වෙනත් නඩුවක් විභාග කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙනවා. මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ පසු වෙනත් විනිසුරුවරයෙක් යටතේ නඩු ඇසුවත් විවෘත මනසකින් බලන්න පුළුවන්ද?. ව්‍යවස්ථාදායකයෙන් හෝ විධායකයෙන් තමන්ට පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තිබේදැයි ඉදිරියේදී බැලිය හැකියි.”
“2024 මැයි 07වැනි දින අධිකරණ සේවා සංගමයේ ලේකම් ධුරය දරන විනිසුරුවරයෙකුගේ අත්සනින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ පැමිණිල්ලේ දක්වා තිබෙන කරුණු කිහිපයක් මම උපුටා දක්වන්නම්.”
“අවස්ථානුකූලව අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ විනිශ්චයකාරවරුන් පුද්ගලිකව අපකීර්තියට පත්කිරීමේ උත්සාහය වැළැක්වීම” යන සිරස්තලයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා වෙත කරුණු හෙළි කර තිබෙනවා. එයින් කියැවෙන්නේ සමහර විනිශ්චයකාරවරුන් පුද්ගලිකව අපකීර්තියට පත්කිරීමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කර ඇති බවයි.
ඒ ලිපියේ වැඩිදුරටත් “මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව සොරු බිඳීමේ පැරණි සිද්ධියක් සම්බන්ධයෙන් එකී අපරාධය සම්බන්ධයෙන් අධිකරණමය හා පරිපාලනමය පියවර ගනු ලැබූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සම්බන්ධයෙන් නම ඈඳාගෙන ඔහුට පෞද්ගලිකව අපකීර්තියක් ගෙන දෙන පරිදි අසත්‍ය පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි එකී විනිශ්චයකාරවරයා විසින් අප සංගමයට සනාථ කොට ඇත”යනුවෙන් කියා තිබෙනවා.”
“අදාළ සොරකම සම්බන්ධයෙන් ඔහු ගත යුතු පියවර සියල්ල නිසි ආකාරයෙන් අනුගමනය කර තිබියෙදී මෙවැනි චෝදනා එල්ල කර තිබෙනවා. ඒ නැවත ඊයේ පාර්ලිමේන්තුවේදිත් මතු කළා. එම ලිපියේ තුන්වැනි ඡේදයේ “අපක්ෂපාත වීම හේතුවෙන් විනිශ්චයකාරවරුන්ට කරනු ලබන කවර මට්ටමේ හෝ බලපෑමක් අධිකරණයේ ස්වාධීනත්වයට කරුනු ලබන බලපෑමක් වී මුළු අධිකරණ පද්ධතියම ක්‍රමිකව දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි” යනුවෙන් සඳහන් කර තිබෙනවා.
ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට ලැබී තිබෙන විශේෂ වරප්‍රසාදයකට මුවාවී අධිකරණයට ප්‍රහාර එල්ල කිරීමෙන් එම පද්ධතියම අකර්මණ්‍ය වන බවයි අධිකරණ සේවා සංගමයේ ලේකම්තුමාට පෙන්වා දී තිබෙන්නේ.
ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ සිට අද දක්වාම විවිධාකාරයෙන් විධායකය විසින් අධිකරණයට බලපෑම් කළ ආකාරය දකින්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ගෙවල්වලට ගල් ගැහුවා. මහින්ද රාජපක්ෂගේ කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයාට ප්‍රහාරයක් එල්ල කළා. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අද වන තුරුත් සොයා ගත්තේ නැහැ. හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක එම ධුරයෛන් එලවා දැම්මා. මේ ආකාරයෙන් සිදුකරන බලපෑම් දිගටම දකින්නට ලැබනෙවා.
ජනාධිපති පාවිච්චි කර තිබෙන වචන හරිම බරපතළයි. “අධිකරණය විසින් සියතින්ම ගෙල සිඳගන්නවා.” වැනි ප්‍රකාශ කරමින් විධායකයේ බලපෑම් සිදුකරනවා. අධිකරණ ඇමති ප්‍රමුඛව පාර්ලිමේන්තුවේ කිහිපදෙනෙකු එක්වී අධිකරණයට ප්‍රහාර එල්ල කිරීමෙන් රටේ සාමාන්‍ය ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? සාමාන්‍ය ජනතාව හිතන්නේ අධිකරණය ඉතා දූෂිත තැනක් කියලයි.
විජේදාස රාජපක්ෂ මේ ආණ්ඩුවේ විතරක් නොවෙයි, අවුරුදු ගණනාවක්ම අධිකරණ ඇමති වී සිටියා. ඒ වගේම මීට පෙර ආණ්ඩුවලත් ඔහු කැබිනට් මණ්ඩලයේ සිටියා. අධිකරණයේ යම් ආකාරයක ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔහුත් වගකීම බාර ගන්න ඕනෑ. ඒ වගකීම පැත්තක තියලා තමන්ගේ නඩු පරාජය වුණාට පස්සේ මේ පහර දීමෙන් සමස්ත පද්ධතියට කරන්නේ විශාල හානියක්. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විදිහට අපි අවධාරණය කරන්නේ අධිකරණයට ඇඟිලි ගහන්න එන්න එපා කියලයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරදී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මේ වැඩේ නොකරන ලෙස අවධාරණය කරනවා. අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි අවධාරණය කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න ලැහැස්ති වුණොත් අපි නීතිඥයෝ හැටියට ඊට විරුද්ධව නැගී සිටිනවා.
මෙම මාධ්‍ය සාකච්ඡාව අමතමින් නීතිඥ සුනිල් වටගල පැවසුවේ මේ වනවිට රටේ විධායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවෙන් පිටතටත් පැමිණ අභූත චෝදනා සහිතව අධිකරණයට අපහාස කරමින් සිදුකරන ක්‍රියාවලියට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.
“ජනාධිපතිවරයා අධිකරණයට කරන ලද අපහාසය සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව අපේ නීතිඥ මණ්ඩලයත් සලකා බලමින් ඉන්නවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ ඇමතිත් ජනාධිපතිත් දෙන්නාම පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස අපි මේ තත්වය හෙළා දකිනවා. මෙවැනි පටු අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කිරීමට ඉඩ නොතබන බවත් අවධාරණය කරනවා.” නීතිඥ සුනිල් වටගල කීවේය.







