මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණ මවක් සිය ප්‍රථම දරු ප්‍රසූතියට ඇතුළත් වීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමෙන් දරුවා බිහිකිරීමෙන් පසු ශල්‍ය කර්මයේ හෝ නිර්වින්දන ඖෂධවල සංකූලතා මත එම මව මියගිය බවට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය සිදුකරන වාර්තාකරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.
සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසන්නේ මෙහිදී සිසේරියන් සැත්කමේදී මව නිර්වින්දනය සඳහා ලබා දුන් ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වන ලද තත්වයෙන් බාල ඖෂධ නිසා මේ අන්දමට සංකූලතාවන් මතුව ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කරන හෙයින් මේ සම්බන්ධව විද්‍යාත්මක විමර්ශනයක් සිදුකොට වාර්තාවක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව පවසයි.

පසුගිය කාලසීමාව මුළුල්ලේම ඉන්දියාවෙන් ගෙන්වන ලද තත්වයෙන් බාල ඖෂධ සහ ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ නිසි ප්‍රමිතිගත රසායනාගාර පරීක්ෂණ වලින් තොරව අදාළ සමාගම් වල ලිපිගොනු පරීක්ෂාවෙන් පමණක් ඖෂධ නිදහස් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තම සංගමය විසින් හෙළා දකින ලද අතර මේ අන්දමට මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු අයිතියක් නොමැතිත් සභාපතිවරයා අවධාරණය කරයි.
ඉහත සඳහන් මවගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකොට සමාජ මාධ්‍ය වල පැතිර යන කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද සංගමයක් වශයෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.







