පසුගිය 08 වැනිදා ඉසුරුපාය ඉදිරිපිට ගුරු අධ්‍යාපනඥයන් විසින් දියත් කළ සාර්ථක උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵල නින්දාසහගත ලෙස කඩාකප්පල් කිරීම සඳහා එක්තරා කණ්ඩායමක් විසින් වෙබ් අඩවියක් මෙහෙයවමින් අලජ්ජී ප්‍රචාරණයක් දියත් කර ඇති බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය පවසයි.
ගුරු අධ්‍යාපනඥයන් විසින් ඉසුරුපාය අභියස සිදුකළ දැවැන්ත උද්ඝෝෂණයෙන් අනතුරුව මෙම විරෝධතාවයට සහභාගි වු කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යාපීඨයක කථිකාචාර්යවරයෙකුට හා කථිකාචාර්යවරියකට කොවිඩි වැලදි ඇති බවත්, කොවිඩි වැලඳුන කථිකාචාර්යවරිය ගේ පවුලේ සියලු සාමාජිකයින්ටද කොවිඩ් වැළඳී ඇති බවත් මෙම විරෝධතාවට සහභාගි වු දකුණු පළාතේ පිහිටි ගුරු විද්‍යාලයක කථිකාචාර්යවරුන් 16 දෙනෙකුට ද කොවිඩි ආසාදනය වී ඇති බවත් දක්වා ඇති එම ප්‍රවෘත්තිය සාහසික විකෘතියක් බව එම සංගමයේ සංගමයේ ලේකම් ධම්මික මිරිහාන ලංකසරට පැවසීය.
“ මේක අශිෂ්ට ප්‍රචාරයක්. අපි වෘත්තිකයො විදිහට අතිශයින්ම වගකීම් සහිතවයි මේ උද්ඝෝෂණය පැවැත්වනු ලැබුවෙ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හැකි හැම විටම ආරක්ෂා කළා. රටට ඉතාම වගකීම් සහගතව කිව යුතුයි. කළුතර විද්‍යාපීඨයෙ කාටවත් කොවිඩ් හැදිලා නෑ. දකුණු පළාතෙ ගුරු විද්‍යාලය තිබෙන්නෙ බලපිටියෙ. බලපිටිය ගුරු විද්‍යාලයේ ඉන්නේ කථිකාචාර්යවරු 04යි. 16ක් නෑ. තව මේ අය කියලා තියනවා සිසිල් බීම බෝතලයක් 16 දෙනෙක් බීපු නිසා කොවිඩ් හැදිලා කියලා. මේ උද්ඝෝෂණයට සහභාගී වුණු කිසිම කෙනෙකුට සිසිල් බීම බෝතල් දුන්නෙ නෑ. කිරිපැකට් දුන්නෙ. කවුරුන් හෝ මේ ප්‍රචාරණය කරන අය මේ තරම් ප්‍රාථමික විය යුතු නෑ කියලා අපි විශ්වාස කරනවා.“. ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට ගුරු අධ්‍යාපනඥයින්ගේ වෘත්තීය ව්‍යාපාරයේ ප්‍රබලත්වය මේ කටයුතුවලට අකුල් හෙළන පාර්ශවයන්ට දැඩිව දැනී ඇති අයුරු පෙනී යන බව කී සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය මේ වනවිට සිවිල් සංවිධාන නියෝජනය කරමින් මෙම උද්ඝෝෂණයට සහභාගී වූ සිංහලේ මහා ජාතික ව්‍යාපාරයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් ලබන 24 දා උසාවියට කැඳවා ඇති බවද පෙන්වා දුන්නේය.
ගුරු අධ්‍යාපනඥයන් විසින් මහජනයාට අවහිරවන පරිදි උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් 2021.11.24වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ජඹුරේවෙල චන්දරතන හිමියන්ට සිතාසි නිකුත් කර ඇත.







