මෙරට ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි ගොනු වූ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධයෙන් විත්තිකරු වූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් කෝටියක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයාට රටින් පිටවීම වළක්වාලමින් ලබා දුන් නියෝගය නොවැම්බර් 24 දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය ක්‍රියා කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1)(අ) වගන්තිය ප්‍රකාරව ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් මඟින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය කළේය.
පෙත්සම්කරු පවසා තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීමට හිටපු මහ බැංකු අධිපතිවරයා කටයුතු කර තිබූ බැවින් ආර්ථික අර්බුදයට ඔහු වගකිව යුතු බවයි.
එහෙත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් විරෝධතා ඉදිරිපත් කළේය.







