-
සෞඛ්‍ය තත්ත්වයෙන් ගර්හිත පොලිස් නිලධාරීන් ගෙදර යවන්න ඇමති යෝජනාවක් ඉල්ලයි.
ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් 4000කට වැඩි සංඛ්‍යාවක් නිසි ශාරීරික යෝග්‍යතාවයකින් තොර බව, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කමිටු රැස්වීමේදී පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් හෙළිදරව් කරන ලදී.
දීර්ඝ කාලයක සිට පොලිස් නිළධාරීන් 4000කට වැඩි සංඛ්‍යාවක් නිසි සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවත් මේ වසර අවසන් වන විට නිළධාරීන් විශාල සංඛ්‍යාවක් විශ්‍රාම යෑමට නියමිත බවත් පොලිස්පතිවරයා රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය.
පොලිස් නිළධාරීන් නිසි සෞඛ්‍යය තත්ත්වයේ පසු නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ එවැනි නිළධාරීන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනාවලිය සකස් කර එය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
දීර්ඝ කාලයක සිට සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන නිළධාරීන් රැසක් පොලිස් සේවයේ සිටින බවත්, ඔවුන් වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමෙන් පසුව දුෂ්කර රාජකාරිවල නොයෙදන බවත් මෙම රැස්වීමට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැවසූහ.
මෙහිදී පොලිස් නිළධාරීන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට වාර්තා වී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් සේම අන්තර්ජාලය භාවිතා කරමින් වරින් වර සිදුවෙන චරිත ඝාතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද උපදේශක කමිටුව සිය අවධානය යොමු කළේය.







