දිනසේන රතුගමගේ
වවුනියාව බන්ධනාගාරයේදී බෝවන රෝගීන් හය දෙනෙකු හමු වීමත් සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධානාගරයේ සිටින සිරකරුවන් හාරසීයකට ආසන්න පිරිසකට එන්නත් ලබා දීම ආරම්භ කොට තිබේ.
මෙම රෝගීන් හය දෙනා වසූරිය වැනි බෝවන රෝගයකට ගොදුරු වී සිටි අතර ඒ පිළිබඳ කළ පරීක්ෂණයකදී එම රෝගය සරම්ප බවටත් වෙනත් රෝගයක් බවටත් මත දෙකක් පල වී තිබේ.
රෝගය නිසියාකාරව මෙතෙක් හදුනා ගෙන නොමැති අතර සිරකරුවන් සියලු දෙනාම එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට ඇත.
රෝගය වැළදුණු රෝගී සිරකරුවන් හය දෙනා වෙනමත් අනෙක් සිරකරුවන් වෙනමත් රඳවා තැබීමට තීරණය කොට ඇති අතර සිරකරුවන් හා බාහිර පුද්ගලයන් අතර සියලු සබදකම් වැළක්වෙන ආකාරයට වවුනියාව බන්ධනාගාරය අගෝස්තුමස 15 වෙනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
බන්ධනාගාර නිලධාරීන් සදහන් කරන්නේ ඇතැම් විට බන්ධනාගාරය විවෘත කෙරෙන දිනය අගෝස්තු 15 වෙනිදාටත් වඩා ඈත දිනයක් දක්වා යා හැකි බවයි.
කෙසේ වෙතත් වවුනියාව බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කොට තිබේ.







