දිනසේන රතුගමගේ –
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව කාර්යාලයේදී විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම දිනකට දෙසිය දෙනෙකුට පමණක් සීමා කිරීමත් සමගම ඒ අවට පුද්ගලයින් පෝලිමේ තැන් අල්ලාගෙන විකිණීමට පටන් ගැනීම නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබුණි.
කාර්යාලය අවට ජිවත්වන පුද්ගලයින් පවුල් පිටින්ම පැමිණ මහ රාත්රියේ සිට පෝලිමේ ස්ථාන අල්ලාගෙන ඒවා අධික මිල ගණන්වලට විකිණීම නිසා පිට පළාත්වල සිට විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට පැමිණෙන පිරිස දැඩි පීඩාවකට පත්ව සිටිති.
පොලිවල තැන් අල්ලාගෙන සිටින පිරිස අංක එකේ සිට 10 දක්වා ස්ථනායක් රුපියල් 10,000 කටද 10 සිට 30 දක්වා ස්ථානයක් රුපියල් 7000 කටද 30 සිට 50 දක්වා වූ ස්ථානයක් රුපියල් 5000 කටද අනෙක් ස්ථානයක් රුපියල් 3000 සිට 1000 දක්වා වූ මිල ගණන් වලට ද අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.
ත්රිකුණාමලයේ සිට පැමිණ දින තුනක්ම පෝලිමට එකතු වූ පුද්ගලයෙකුට අංක 200 අතරට එක් වීමට අවස්ථාව නොලැබීම නිසා ඔහු කෝපයට පත්ව වවුනියාව පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට ගසකට නැග විරෝධය දක්වා තිබුණි.
පොලිසිය පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කළ නමුත් පාස්පෝට් කාර්යාලය අවට පදිංචි පිරිස විසින් පෝලිමේ තැන් අල්ලා විකිණීමට පටන් ගෙන තිබීම නවතා දැමිමට පියවර ගෙන නොමැත.
මේ අතර වවුනියාව නගර සභාවේ නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ වවුනියාව පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට සිටි සාමදාන විනිශ්චයකාරවරුන් ඡායා පිටපත් ගන්නා අය හා වෙනත් සේවා සපයන පිරිස් අනවසර ඉදිකිරීම් තනා ඒවායෙහි සිටින බව පවසා ඔවුන්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
නමුත් පෝලිම්වල ස්ථාන අල්ලාගෙන ඒවා වැඩි මිලට විකුණන පිරිස් වලට එරෙහිව මෙතෙක් කිසිවෙකු නීතිමය පියවරක් ගෙන නොමැත.