සිළුමිණ පුවත්පතට සහ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (6) විසුරුවා හැරීමට නියෝග කළේය.
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා උපසභාපති රවීන් වික්‍රමරත්න විසින් මෙම වාරණය ගෙන තිබිණි.
සිළුමිණ පුවත්පතට මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් විසින් ලියනු ලැබූ ලිපි දෙකක් සම්බන්ධව මේ වාරණ නියෝගය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය.
එය සත්‍ය කරුණු මත පදනම්ව පළ කළ විවේචනයක් බව ප්‍රකාශ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන එම වාරණ නියෝගය විසුරුවා හැරිය අතර, ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් ප්‍රතික්ෂේප කළේය.
පැමිණිලිකරුවන්ගේ සහ විත්තිකරුවන්ගේ පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා, වාරණය විසුරුවා හැරීමට සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ බව කියන මුදල් අවභාවිතය සහ අක්‍රමිකතා ගැන සෙවීමට ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ කුසලා සරෝජනී කමිටු වාර්තාව ද සැලකිල්ලට ගනිමිනි.
මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් පළ කර ඇති ලිපියට පදනම් වී ඇත්තේ එසේ නීත්‍යානුකූලව පත් කළ විමර්ශනයකට අදාළ තොරතුරු බව විනිසුරු ප්‍රකාශ කළේය..
මේ සම්බන්ධ නඩු විභාගය ලබන නොවැම්බර් මස 9 වැනිදා කැඳවීමට නියමිතය.







