දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් සතු යාත්‍රා 105 ක් ශ්‍රී ලංකා රජය විසින් වෙන්දේසියේ විකුණා එහි ආදායමෙන් කොටසක් ඉන්දීය ධීවරයින්ට ලබා නොදෙන්නේ නම් තමන් එම යාත්‍රා වෙනුවෙන් ඉන්දීය ධීවරයින්ට වන්දි ලබා දෙන බව තමිල්නාඩු මහ ඇමති එස්.ස්ටාර්ලින් අද 30 පැවසීය.
තමිල්නාඩුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ස්ටාර්ලින් මහ ඇමතිවරයා කියා සිටියේ යාත්‍රා ඉන්දීය ධීවරයින්ගේ වූවත් ඔවුන් නීති විරෝධී ක්‍රියාවන්ට හසු වීම නිසා එම යාත්‍රා ධීවරයින්ට අහිමි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට දොස් පැවරීමට නොහැකි බවය.
රටවල් දෙකේම සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවලින් පසුව සකස් වූ හා සංශෝධනය වූ නව ධීවර ආඥා පනතට අනුව කවර රටක ධීවරයින්ගේ වූවත් යාත්‍රා රාජ සන්තක කිරීම සාමාන්‍ය සිරිත නිසා ඊට එරෙහිව කටයුතු කිරීමට තමිල්නාඩුවේ ධීවරයින්ට බලයක් නොමැති බවද ඔහු කියා සිටියේය.
යාත්‍රා අහිමි වූ ඉන්දීය ධීවරයින්ට සාධාරණ වන්දියක් ගෙවීමට තමන් ගත් තීරණයට ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සිය ප්‍රසාදය පල කොට ඇති බවද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරායා මෙහිදී ප්‍රකාශ කළේය.







