සියයට දෙකක් තුනක් වැනි මුදලකට අලෙවි විය යුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ද්විතීක ස්වෛරී බැඳුම්කර අලෙවි වනුයේ 82% වැනි මිලකට බවත් රටේ ඇති ඩොලර් ප්‍රමාණය ජනතාවට කන්න නොදී මේ තබාගෙන සිටින්නේ කාට 82%ක් ගෙවන්නට දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විමසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව අනාවරණය කළේ මෙසේය.
“www.bondsupermart.com ගිහින් ඕනම කෙනෙකුට බලන්න පුළුවන් ලංකාවේ ද්විතීක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මිල. 10%ට වඩා වාර්ෂික පොලියක් ලැබෙන ස්වෛරී බැඳුම්කර 11 ක් තියෙනවා. එකක් මොසැම්බික් රටේ ඉතුරු දහයම ලංකාවේ.
සාමාන්‍යයෙන් සියයට දෙකට තුනට හතරට විකිණෙන ස්වෛරී ජාත්‍යන්තර බැඳුම්කරවල ශ්‍රී ලංකා බැඳුම්කරේ විකිණෙන්නේ කීයටද දන්නවද? 82%යි. මං හිතන්නේ නෑ මේ මතක ඇති ඉතිහාසයේ ස්වෛරී බැදුම්කරයක් එච්චර කඩා වැටිලා තියෙනවා කියලා.
ඒ කියන්නේ සදුදා උදේට කවුරුහරි ආයෝජකයෙක් ඩොලර්වලින් ජනවාරි මාසේ කල්පිරෙන ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර ගත්තොතින් ඔහුට හෝ ඇයට 2022 ජනවාරි මාසේ ශ්‍රී ලංකා රජයෙන් කල් පිරෙන කොට ඒ බැඳුම්කරවලට ඔහුට ලැබෙන ප්‍රතිලාභය ගණන් හදනකොට 82%යි.
මම අහගෙනයි කියනවා මේවා මේ අපේ කාලේ නෙවෙයි අනං මනං කියලා ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2012 නිකුත් කරපු බැඳුම්කරයක්. ඒක විකිණෙන්නේ ඩොලර්වලින් 54%ට.
දැන් බලන්න කවුද මේ බැඳුම්කර ගත්තෙ. ද්විතීක වෙළඳපොලේ කවුද මේවායේ අයිතිකාරයෝ? අපිට ආරංචි වෙන විදියට නොයෙකුත් කට්ටිය ද්විතීයික වෙළෙඳ පොළෙන් මෙව්වා මිලදී අරගෙන. රජය බලාපොරොත්තු වෙනවා කොහොමහරි එක ගෙවන්න. ගෙව්වොත් මෑත ජාත්‍යන්තර ඉතිහාසයේ ගන්න පුළුවන් වෙච්ච වැඩිම ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙනවා. කවුද ඒ කාට සියයට අසූ දෙකක් ගෙවන්නද ගෙවන්නද මේ මහජනතාවට කන්න නොදී මේ ඩොලර් ටික තියාගෙන ඉන්නේ කාට ගෙවන්නද? අපි අහනවා ඒ ප්‍රශ්නය.
කාගේ අතද මේවා තියෙන්නේ? කවුද සියයට අසූ දෙකක් ඇමරිකන් ඩොලර්වලින් ලාභයක් ගන්න බලාගෙන ඉන්නේ. මම මේ විවෘතව කිව්වා මේ ලෝකය ඕන කෙනෙකුට මේ ගැන වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න, ගන්න පුළුවන්. ඩොලර් ලක්ෂ දෙකක් තියෙනවා නං invest කරන්න පුළුවන්.”







