සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන කූඨ වැඩපිළිවෙළ හේතුවෙන් ඖෂධ මිලදී ගැනීම් වෙනුවෙන් අධික මිලක් ගෙවීමට සිදුව ඇති බවත් එය සියයට 1300ක මිල වැඩිවීමක් බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.
මේ වන විට රෝහල් තුළ පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීමට හදිසි මිලදීගැනීම්වලට යාමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට සිදුවීම හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.
මේ හදිසි මිලදී ගැනීම් වලදී රජයේ ආයතනයක් විසින් රජයේම ආයතනයන් සූරා කෑමට පටන් ගැනීම පුදුම උපදවන්නක් යැයි වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියයි.
රෝහලකට යම් ඖෂධයක හිඟයක් පවතින්නේ නම් එම ඖෂධය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් ඖෂධ සමාගමකින් මිලදී ගෙන රෝහල්වලට ලබාදිය හැකි. නමුත් දැන් සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත ඖෂධ සමාගම්වල පවතින ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමය.
මෙහිදී රෝහල්වලට අවශ්‍ය ඖෂධ ප්‍රාදේශීයව මිලදී ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමත්‍යංශය දැනුම් දුන්නද එම ඖෂධ සමාගම්වල ඖෂධ නොමැත. ඇත්තේ ඔසුසැල්වල පමණක් බැවින් ඒවා මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට සිදුව ඇත. මෙහිදී සියයට 1300ක් මිල ඉහළ ගොස් ඇති බව අධ්‍යක්ෂවරුන් පෙන්වා දී ඇතැයි වෛද්‍ය චමල් සංජීව පවසයි.
මාළිගාවත්ත වකුගඩු රෝහලට අවශ්‍ය Mycophenolate 250mg නැමැති ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගෙන රෝහල්වෙත නිකුත් කරන්නේ නම් එහි මිල රුපියල් 22.90ක් වන නමුත් මෙය ඔසුසැලෙන් මිලදීගන්නේ නම් ඒ සඳහා රෝහලට වැයකිරිමට සිදුවන මුදල රුපියල් 227කි. මෙය සියයට 991ක වැඩි වීමකි.
මෙම මිල වැඩිවීම තවදුරටත් විග්‍රහ කරමින් තම රෝහලට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගෙන රෝහල් වලට ලබා දෙන්නේ නම් මසකට වැය කිරීමට සිදුවන මුදලට සාපේක්ෂව ඖෂධ ඔසුසල්වලින් මිලදීගැනීමට යාමෙන් වැයකිරිමට සිදුව ඇති අමතර මුදලේ ප්‍රතිශතය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල ලිඛිතව වෛද්‍ය සැපයුම් අංශයට දන්වා එවා ඇත.
සියලුම රෝහල්වල තත්ත්වය මෙය බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වාදේ.








