රෝගී වූ තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකොට ආගමික යාඥා කරමින් ඔහු මිය යන්නට සැලැස්වූ බවට චෝදනා මත බඩල්ගම ප්‍රදේශයේ මාපිය යුවළක් සහ මෙම දරුවාගේ මිත්තණිය ඊයේ (09) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින බවට ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී මෙම දරුවා මියගොස් සිටියදී පවා යළි ප්‍රාණය ලබා ගැනීමට දේව යාඥා කරමින් සිටියදී ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙසේ මිය ගොස් ඇත්තේ බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ ජීවත් වූ දරුවෙකි. මෙම දරුවාගේ උගුරේ සෙම සිර වීමක් සම්බන්ධ රෝගී තත්ත්වයක් ඇතිව තිබෙන අතර ඊට සුවය පතා මෙලෙස යාඥා කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.
දරුවන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කොට ඔවුන් වින්දිතයන් බවට පත්නොකරන ලෙසත් එවැනි අය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව මහතා මෙහිදී සඳහන් කළේය.