රට අර්බුදයක පවතින අවස්ථාවක සිය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් නොයෙක් වෘත්තීය සංගම් සිදුකරන බලපෑම්වලට අනිසි ලෙස යටත් වී තීරණ නොගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යවමින් පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය කාලයේදී රජය ගත් එවැනි අදූරදර්ශි තීරණ නිසා නොයෙකුත් අවස්ථාවාදීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇති බවය.
මෙම වර්ජන ක්‍රියා දිගින් දිගටම සිදු වුවහොත් සියලුම බලවත් වෘත්තිය සමිති මගින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් රටේ තත්ත්වය ඉතාමත්ම ව්‍යාකූල වීම වැළැක්විය නොහැකි වනු ඇති බව ද එම සංගමය පැහැදිලි කර තිබේ.
එබැවින් මේ මොහෙතේ කළ යුතු වන්නේ වර්ජන ක්‍රියාවන්ට යටත්වීම නොව, රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්, සුදුසුකම් හා වෘත්තිමය කුසලතා මත සැකසීම කඩිනම් කිරීම බව එම සංගමය සිය ලිපිය මගින් දන්වා ඇත.
එම සම්පූර්ණ ලිපිය පහතින්.
ගරු ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා,
සෞඛ්‍ය අමාත්‍ය,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 10.
අප රට ආර්ථික ලෙස ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයක ඇති මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති වර්ජන මගින් සිදුවිය හැකි අනිසි විපාක
දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා වෘත්තිය සංගම් ක්‍රියාමාර්ගය මගින් රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණ බවට පත්කර ඇත. රෝගීන් ඉතා අසරණව ඇති මේ අර්බුදකාරී අවස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක දීම කෙසේවත් කාලෝචිත නොවන දෙයක් මෙන්ම එය තරමක ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව අපට හැඟෙන්නේ අසරණ රෝගීන් තවදුරටත් ඉතා අසරණභාවයට තල්ලු කිරීමක් මේ මගින් සිදුවන බැවිනි. සෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක්ම තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීම භාවිතා කරන්නේ අවසාන අවිය ලෙසිනි. මෙම වර්ජනය හේතුවෙන් එම සේවා ලබා ගන්නා රෝගීන්ට සිදුවන හානිය අවම කිරීම අප සතු යුතුකමක් වන්නේ මුලු ලෝ පුරා පැතිර ඇති කොවිඩ් වසංගතයට අමතරව රජය ගෙන ඇති යම් අදූරදර්ශි තීරණ නිසා රෝගීන්ට මෙන්ම මුළු රටටම එමගින් සිදුවන හානිය අවම කිරීම සෞඛ්‍ය සේවකයින් වශයෙන් අපේ යුතුකමක් බැවිනි.
පසුගිය කාලය පුරාවටම අප විසින් දැක ඇති කරුණක් නම් එම කාලයේදී රාජ්‍ය අංශයේ සිදු වූ සියලුම වර්ජන කෙරෙහි මහ ජනතාව විමතියෙන් මෙන්ම ඉතා අප්‍රසන්නව බලා සිටි බවය. පසුගිය කාලයේ දී නොයෙක් වෘත්තීය සංගම්වල බලපෑම්වලට රජය අනිසි ලෙස යටත් වී නොයෙකුත් ආකාරයේ වැටුප් වැඩි කිරීම් මෙන්ම අතුරු දීමනා ලබාදීම කළ බව අප දන්නා කරැණකි. මෙම අදූරදර්ශි තීරණ නොයෙකුත් අවස්ථාවාදීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇත.
මෙම වර්ජන ක්‍රියාව දිගින් දිගටම සිදු වුවහොත් සියලුම බලවත් වෘත්තිය සමිති මගින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් රටේ තත්ත්වය ඉතාමත්ම ව්‍යාකූල වීම වැළැක්විය නොහැකි වනු ඇත. එම නිසා මෙම තත්ත්වය වැළැක්වීමට රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්, සුදුසුකම් හා වෘත්තිමය කුසලතා මත සැකසීම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව මෙම අවස්ථාවේදී අපි දැඩි ලෙස ප්‍රකාශ කරමු.
මෙම අවස්ථාවේදී රජය විසින් වෘත්තීය සමිති ඉල්ලීම්වලට යටවී රට තවදුරටත් ව්‍යාකූල බවට පත්කිරීම මගින් මහජනතාව තවදුරටත් අපහසු තත්ත්වයට පත්කිරීම නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු.
දැනට පවතින මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එමගින් ඉදිරියට ඇති විය හැකි ව්‍යාකූල තත්වය ගැන රජයේ දැඩි අවධානය යොමුවනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
විශේෂඥ වෛද්‍ය ආර්.ඤාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය