කන්ද උඩරට අවසාන රාජධානියේ ස්පර්ෂිත ප්‍රවේශයන් හෙවත් සාක්ෂි සහිතව අතපතගාන හැකි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිලි ආර්ථික ප්‍රතිලාභ තකා ඩොලර් උපයන වෙළඳ භාණ්ඩ බවට පරිවර්තනය වීම දළදා මාළිගාව හරහා සිදුවෙමින් තිබීම සම්බන්ධව බලවත් විසංවාදයක් ඇති වී තිබේ.
පෞරාණික ගොඩනැගිල්ලක් හෝ භූමියක් දළදා මාළිගාව වෙත පවරා ගැනීම සම්බන්ධව විරෝධතාවයක් මතු කළ නොහැකි සංස්කෘතික බැඳීම් පිළිබඳ සේයාවක් පෙනුන ද දළදා මාළිගාවේ වත්කම් උපයෝගී කරගනිමින් එම උරුමයන් අදාළ බරකින් යුතුව නඩත්තු කරනවා වෙනුවට ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පත්වෙමින් තිබීම මේ වනවිට ප්‍රශ්න කළ නොහැකි යථාර්ථයක් වී ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත්දා මහනුවර ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම එහි ආරම්භයකි.
මේ වනවිට මාළිගාවේ ඊලඟ අත්පත් කරගැනීම ලෙස පෙනී යන්නේ දළදා මාළිගා පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සන්තකයේ ඇති බිසෝ උල්පැන්ගේ ය.
අනතුරුව රජවාසල මැද වාසල පල්ලේ වාසල සහ මඟුල් මඩුව ද දළදා මාලිගාව වෙත පවරා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මෙවන් පසුබිමක අද සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක උල්පැන්ගේ නැරඹීමට ආවේය. අප ඒ අවස්ථාවේ සිටියේ එම අවස්ථාව නිරීක්ෂණය කරමිනි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය පාලන වකවානුව තුළ බිසෝ උල්පැන් ගෙය නිර්මාණය වූයේය. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද මුල් උල්පැන්ගෙය 1803 දී ඉංග්‍රීසි හමුදාව විසින් ගිනි තබා විනාශ කළේය. දැනට ඇත්තේ 1825 දී ජෝර්ජ් ටර්නර්ගේ මූලිකත්වයෙන් නැවත සැලසුම් කොට සාදවන ලද ගොඩනැගිල්ලය. පසුව ඉංග්‍රීසිහු මේ ගොඩනැගිල්ල පුස්තකාලයක් ලෙස භාවිත කළහ. තවමත් මේ ගොඩනැගිල්ල ඓතිහාසික තොරතුරු උගත හැකි අධ්‍යාපන ඒකකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන්නේය.
එය පාසල් දරුවන්, සරසවි සිසුන්, දැනුම අපේක්ෂිත දෙස් විදෙස් ගවේෂකයින් වෙනුවෙන් පුරාවිද්‍යාත්ම සහ ඉතිහාස දැනුම බෙදා දෙන අධ්‍යයන කේන්ද්‍රයකි. අමාත්‍යවරයා බිසෝ උල්පැන්ගේ නැරඹීමට පැමිණියේ දළදා මාළිගාවේ නිලධාරී සමූහයක් සමගය. ඔහු විමසූ කාරණා කීපයක් තිබිණි.
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් උල්පැන්ගෙය නඩත්තු කිරීම් හරිහැටි කළ හැකි ද?
- රාත්‍රී 8 පසුවන තුරු මෙම ගොඩනැගිල්ල විවෘතව තැබීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සැලසුමක් තිබේ ද?
- මේ ස්ථානය දැනුම්වත් කිරීමේ මධ්‍යස්ථානයක් නම් එම දැනුම ලබා දීම කරන්නේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව ඉල්කක කරගෙන නම් මේ අධ්‍යයන මධ්‍යස්ථානය පවත්වා ගැනීම අපරාධයකි. ඒ දැනුම පුරාවිද්‍යා නිලධාරීන්ට පාසල් වෙත ගොස් ලබා දිය හැකිය.
- මේ ගොඩනැගිල්ල කවරෙක් හෝ පවරාගෙන අලුත්වැඩියා කර විදුලි බුබුළු දමා අලංකාරවත්ව සකස් කර ඩොල් උපයන මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කළහොත් ඊට ලබා දිය හැකි සහය කුමක් ද?
දැනට මාස කිහිපයක සිට ජනාධිපතිවරයා ප්‍රමුඛ කොටගත් රැස්වීම්වලදී ද නුවර බිසෝ උල්පැන්ගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගලවා දළදා මාලිගාවට පවරා දීමේ යෝජනා මතුවෙමින් ඇතිවෙමින් තිබිණි.
මුදල් හිඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රුපියල් මිලියන හතරක් යොදවා ඉතිහාසික අධ්‍යාපනය ඒකකයක් ලෙස ස්ථාපිත කළ මෙම අධ්‍යයන කේන්ද්‍රයට දිනකට දෙස් විදෙස් සිසු සිසුවියන් දසකට ආසන්න සංඛ්‍යාවක් තොරතුරු ගවේෂණය සඳහා පැමිණෙති.
මේ අධ්‍යාපන කේන්ද්‍රය සිහිවටන සමරු සහිත තොරොම්බල් විකුණන පොළක් බවට පත් කිරීමට නියමිතය. ඊට සංස්කෘතික ඇමතිවරයා මැදිහත්වන ආකාරය ගැන විමසිල්ලෙන් යුතුව බලාගෙන සිටිමු.