දශක ගණනාවක් පුරා රට තුළ සිදුකළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ අපරාධවලට රාජ්‍ය ආරක්ෂක අංශ හා අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන, ප්‍රසිද්ධ සමාවක් අයද සිටින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අද (17) වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රි ලංකා රජයට දන්වා තිබේ.
එම වාර්තාව වැඩිදුරටත් කියන්නේ එසේ අතුරුදහන් වූවන්ගේ ෙඉරණම සහ ඔවුන් සිටින ස්ථානය හෙළි කිරීමටත්, එම අපරාධවලට වගකිව යුත්තන් සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමටත් ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බවය.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ සියලු ශ්‍රී ලාංකිකයන් කිසිදා අමතක නොකළ යුතු යැයි මෙම වාර්තාව නැවතත් තහවුරු කරන බව පවසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් . “ඔවුන්ගේ ඥාතීන් හිතමිතුරන් බොහෝ කාලයක් බලා සිටින අතර ඔවුන්ට සත්‍යය දැනගැනීමට අයිතියක් ඇතැයි ද පෙන්වා දෙයි.

“බලහත්කාරයෙන් අතුරුදහන් වූ සියලු දෙනා කෙරෙහි යුක්තිය ඉටු කිරීමට ලාංකීය රජය බැඳී සිටියි. මෙම අපරාධ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත්ය. මෙවැනි අපරාධ බලහත්කාරයෙන් අතුරුදහන් කලවූවන්ගේ ආදරණීයයන් පමණක් නොව සියලු ප්‍රජාවන් සහ මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයම දිගින් දිගටම කම්පනයට ලක් කරනු ඇත.” වෝලටර් ටර්ක් කියයි.
ජාත්‍යන්තර නීතිය අනුව අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ ඉරණම හෝ රඳවා සිටින ස්ථානය නිශ්චිත කරන තෙක්, බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අපරාධය අඛණ්ඩ උල්ලංඝනයක් ලෙස සලකන බව සහ එවැනි අතුරුදහන්වීම් විසඳීමට රාජ්‍ය බැඳි සිටින බව ද මහ කොමසාරිස්වරයා අවධාරනය කර තිබේ.
නොයෙකුත් රජයන් විසින් සිදුකළ බලහත්කාර අතුරුදහන් කිරිම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සම්මත කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය සහ හානිපූරණය සඳහා වන කාර්‍යාලය පිහිටුවීම වැනි විධිමත් පියවර කිහිපයක් ගෙන ඇති නමුත්, තනි පුද්ගල අතුරුදහන් වීම් පුළුල් ලෙස විමර්ශනය කොට විසඳීම කෙරෙහි ගෙන ඇති ප්‍රායෝගික පියවර සීමිත බව මෙම වාර්තාව හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පෙන්වා දෙයි..
අතුරුදහන් වූවන්ගෙන් බහුතරය පුරුෂයන් වන නිසා, බොහෝ විට පවුලක එකම ආදායම් උපයන්නිය බවට කාන්තාවන් පත් වී ඇති බවත්,. මෙම කාන්තාවන් හට තම ජීවනෝපාය සලසා ගැනීමට සිදුවී ඇත්තේ, කාන්තා සහභාගිත්වයට බාධා ඇති සහ ලිංගික අතවර ආදී නොයෙකුත් හිරිහැර සහිත වාතාවරණයක් තුළ බවත් පවසන මානව හිමිකම් කාර්යාලය අතුරුදහන් වූවන් සෙවීමේ ව්‍යාපාරවල පෙරමුණ ගත් බොහෝ කාන්තාවන්, හමුදාව සහ පොලිසිය විසින් තර්ජන හා හිරිහැර කිරීම්, බිය ගැන්වීම්, සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, පහර දීම් සහ වධහිංසා පැමිණවීම්වලට ලක්වන බවත් පෙන්වා දි තිබේ.
රජයන් විසින් නොයෙකුත් විමර්ශන කොමිෂන් සභා පත් කළ ද, මේ බොහොමයකගේ වාර්තාවන් ජනගත කර නොමැති අතර, ඒවා ප්‍රසිද්ධ කළ අවස්ථා වලදී පවා ඒවායෙන් තොරතුරු දැන ගැනීම සීමා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මෙම වාර්තාවල තිබු බොහෝමයක් නිර්දේශ, විශේෂයෙන්ම අපරාධ වලට වගවීම පිළිබඳව ඇති නිර්දේශ, ක්‍රියාත්මක කර නැති බවත්, වත්මන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු චෝදනා එල්ල වූවන් යුක්තිය මගහරිමින් සිටින බවත් මානව හිමිකම් කාර්යාලය චෝදනා කරයි. .







