රටේ ආර්ථික මර්මස්ථානයන් වන මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය මෙන්ම ආර්ථික හා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද සුවිසල් දායකත්වයක් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලි බල මණ්ඩලය, ඇතුළු රාජ්‍ය ආයතනය ව්‍යාපාරික ලාභාපේක්ෂාවෙන් පමණක් කටයුතු කරන විදේශීය ආයතනයන්ට විකුණා දැමීම රට තුළ අනාගතයේ දී දැවැන්ත සමාජ, ආර්ථි, දේශපාලනික අස්ථාරත්වයක නිර්මාණය කිරීමට හේතු විය හැකි සේම ජන ජිවිතය අස්ථවාර කිරීමට ද හේතු විය හැකි බව අවධාරණ කරමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සිය අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත සංදේශයක් යවා ඇත.
මහජන සුභසිද්ධිය, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායීත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බවත්, එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙනයන වැඩ පිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක පවතින බවත් මහා නායකහිමිවරු එම නිවේදනයෙන් අවධාරණය කර පෙන්වා දී තිබේ.
පුද්ගලකරණ ක්‍රියාපටිපාටිය තුළ විනිවිද භාවයක නොතිබීම මෙන්ම මහජන අදහස් හා යෝජනා පිළිබඳ අවධානය යොමු නොකොට ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජයෙන් රාජ්‍ය සම්පත් විකුණා දැමිමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ තුළින් මහජන සුභසාධනය, ජාතික හා සමාජ ආරක්‍ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් උද්ගත වන බවත් මහජනතාවගේ අදහස බව උන්වහන්සේලා කියති.
ගතවූ වසර 76 ක කාලය තුළ ජාතික ප්‍රතිපත්තියකින් තොරව වැරදි ආර්ථික උපාය මාර්ග මත අත්තනෝමතික හා අවස්ථාවාදී ලෙස විවිධ රජයන් කටයුතු කිරීම හේතුවෙන් රට තුළ අනේකවිධ ජාතික, දේශපාලනික සාමාජීය හා ආර්ථික අර්බුද උද්ගත වූ ආකාරය පිළිබඳවත් ඒ සඳහා තිරසර විසඳුම් සෙවීමට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මෙන්ම මහජන සුභසිද්ධිය අරමුණු කරගත් ප්‍රමුඛතා සංවර්ධන සැලසුමක අවශ්‍යතාව ත්‍රෛනිකායිික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ලෙස පසුගිය කාලය පුරාම විවිධ රජයන් වෙත අවධාරණය කළ ආකාරය උන්වහන්සේලා සිහි කරති.
රටේ මහජන මතය වනුයේ රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් සිදු කරන දේශපාලන අත පෙවීම්, බඳවා ගැනීම් රාජ්‍ය සම්පත් අවභාවිතය, දූෂණය හා වංචාව වැළැක්වීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකසා නිසි අධීක්‍ෂණයක් තුළින් මහජන සුභසිද්ධියට ප්‍රමුඛත්වයක් ලබා දෙන රාජ්‍ය නියාමන අංශයන්ගෙන් නිසි පරිදි නියාමනකට ලක් කෙරෙන නිවැරදි කළමනාකරණයකට රාජ්‍ය ආයතනය පත් කිරීමට රජය කටයුතු කළ යුතු නමුත් මේ ආකාරයෙන් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම තුළින් කෙතරම් දුරට මේ පරමාර්ථ ඉටුවේද යන ගැටලුවක් බව ජනධිපතිවරයාට දන්වති. ඇති බව පවසති.
ක්‍ෂාන්තිය, මෛත්‍රිය, දයා, කරුණාදි ගුණාංගයන් පෙරටුකොට ගෙන මහජන සුභසිද්ධිය උදෙසා කටයුතු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය, අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාම මෙන්ම සොරසතුරු, ත්‍රස්තවාදී උපද්‍රව ආදියෙන් ජනතාව ආරක්‍ෂා කර ගනිමින් ජන ජීවිත ස්ථායීකරණය උදෙසා කටයුතු කිරීම රාජ්‍ය නායකයෙකුගේ පරම යුතුකම හා වගකීම වන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති බව ද උන්වහන්සේලා පෙන්වා දෙති.
උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත යැවූ සංදේශය පහත දැක්වේ.








