දුම්රිය සංඥා නොතකා තමන් පැදවූ මෝටර් රථය අනිතිකව දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කර අනතුරක් සිදුකළ රුසියානු දුම්රියට සිදුවූ අලාභානිවලට වන්දි ලෙස රුපියල් දාහත් ලක්ෂ අසූදහසක් සහ මාර්ග නීති කඩකිරිමේ වරදට රුපියල් 56,000 ක් ගෙවිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඊයේ (16) නියෝග කළාය..
ලොස්කොටු ඇලෙක්සැන්ඩර් නමැති සැකකරු 2023 ජනවාරි 23 වැනි දින දුම්රිය හරස් මාර්ගයෙන් තවත් මගියෙකු සමඟ තම මෝටර් රථය අනීතික ලෙස පදවාගෙන ගොස් බෙලිඅත්තේ සිට මහව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ ඔහු සහ අනෙක් මගියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
අනතුරින් දුම්රිය එන්ජිමට සහ වර්ණ සංඥා පද්ධතියට දැඩි ලෙස හානි වූයේය. සංචාරකයාට එරෙහිව මෝටර් රථ මාර්ග නීති රෙගුලාසි යටතේ පොලිසිය විසින් නඩු පවරා තිබූ අතර, දුම්රිය දේපළවලට සිදුවූ අලාභහානි වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ද වන්දි ඉල්ලා සිටියේය.
අදාළ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සංචාරකයා පෙබරවාරි 29 වැනිදා රටින් පිටවීමට සූදානම් වන බවත් ඔහු වරද පිළිගන්නා බවත්ය.







